Sunday, September 27, 2015

ජපනා හපනා බව තේරුම් ගතිමි !

එකල, බීම මූඩි අස්සෙන් වාසනාව මතුකරගන්නට උස්සාහ කළ යුගයක් තිබිණ. ෆැන්ටා මිරින්ඩා සෙවන් අප් කොකාකෝලා ස්ප්‍රයිට් වාගේ, "බිව්වම ඉස්මොළේ දන" බීම මූඩි අස්සේ ඔය වාසනාව හංගා තිබිණි. ඒනිසා දිවා විවේකයෙන් පසු කැන්ටිමේ බීම මූඩි අහුලන්න්ගේ පර්ෂදයක් බිහි විය. ඉස්කෝලේ කැන්ටිමේ විතරක් නොව ඔය "බිව්වම ඉස්මොළේ දන" බීම කේස් වැඩිපුර පාවිචිචි වන උත්සව අවස්ථා දාන ගෙවල් මළ ගෙවල් වගේ තැන්වල බීම මූඩි ඇහිලිම අපේ ලොකුම විනෝදාංශයක් විය. වාසනාව හංගා තිබුනේ එහෙම හොල්සේල් අහුලා ගන්නා ලද බීම මූඩි අස්සේය.
වරක් අපි නම නොදන්නා ඇලෝසියස් එකේ පිරිමි ළමයෙක්ට කොකාකෝලා මූඩියක් අස්සෙන් මවුන්ටන් බයික් එකක් ඇදී තිබිණි. එහෙම තෑග්ගක් ලැබීම එවකට වසනා සම්පතේ සුපිරි තෑග්ග හිමිවීමටත් වඩා වාසනාවක් බව පිළිගන්නා ලදී. ඒනිසා දිවා විවේකයෙන් පසු කැන්ටිමේ බීම මූඩි  අහුලන්නන් පර්ෂදයට හැමදාම වැඩ තිබිණි.
නවසිය අනූ හතර අවුරුද්දේ කොකා කෝලා මූඩි යටින් මතුඋනේ "යෝ යෝ" ය. ලංකාවට කොකාකෝලා බෙදන පියෝබෙවරේජර්ස් ලා ඕකට කිව්වේ "රඟ දෙන යෝයෝ" කියාය. බීම මූඩි අතරින් යෝ යෝ මතුකර ගත් බොහෝ පිරිසක් සිටියද ඕකෙන් රඟදෙන්නට කවුරුත් දැනන් හිටියේ නැත. ජපනා දවසක් අපේ ඉස්කෝලෙට ආවේ ඔන්න ඔය කියන කාලයේදීය. ඒ ඓතිහාසික මොහොතේ මගේ අතේ පවා යෝ යෝ එකක් තිබිණි. ඒක ලුමිනස් කොළ පාටය.
ඔය කියන දවසේ, දවල් ඉන්ටර්වල් එකෙන් පසු පාසල් පිට්ටනියට අපිව කැඳවන ලදී. ජපනා ගැන කළ කෙටි හැඳින්වීමකින් පසුව අපට වැඩ පෙන්න්නට එන ලෙස ඔහුට ආරාධනා කළේ කවුරු හරි ලොකු අක්කා කෙනෙකි.

වැඩි ආටෝපයකින් තොරව යෝ යෝ එකකින් වැඩ පෙන්නන ආකාරය ජපනා අපට කියා දුන්නේ එහිදීය. ඔහු කොහෙන් ආවේද කවුරුන් කැටුව ආවේද කාගේ කවුරුන්ද කියා දන්නේ නැති උනත් එයා හෙනම කඩවසම් බොරු සොබනයකින් තොර තරුණයෙක් විය. අඩුමගානේ ඔහුගේ නම කුමක්ද කියාවත් අපිට කිව්වේ නැත.

ඔහු මුලිම්ම යෝ යෝ එකේ අතීත කතාව කියා, ඒක ජපානෙට පටලා තව මොකක් දෝ කියා ඉන් අනතුරුව යෝයෝ එක මැදඟිල්ලේ රඳවා ගත්තේය. ටිකකින් ජපනාගේ මූණ තිබූ තැන වෙනුවට අපි දැක්කේ දේදුණු පාට යෝයෝ වළල්ලකි. යෝ යෝ එකක් නොව හතරක් පහක් උඩ-පහළ යවමින් අපිට හිතාගන්නටවත් බැරි රංගනයක් ඉදිරිපත් කල ඔහුට තමන් ඉගැන්නුදේ අපි හරියට ඉගෙන ගත්තා දැයි බලන්නට ඕනෑ විය. "මෙතැනින් කෙනෙකු මම ඉදිරියට කැඳවනවා" ය කියා ඔහු කියන විට මම නං හිතුවේ ජපනා මට කතා කරාවිය කියාය . මුළු පිට්ටනියම ළමයින්ගෙන් පිරි-ඉතිරී තිබිණි. ජපනා ඉදිරියේ ශිල්ප දක්වන්නට ඒ හැමෝටම ඕනෑ වී තිබිණ . නමුත් තත්පරයක පමාවෙන් ජපනා ළමයි අතරින් පීරා ගොස් එක ළමයෙකු වේදිකාවට කැඳවාගෙන ආවේය.
ඒ 97-98 කාලේ පාසලේ පෙරදිග තූර්ය වාදන කණ්ඩායමේ නායිකාවය. පිපුණු මල් දහසක් අතරින් සුපිපුණු මලක් තෝරා ගන්නට ජපනාට තත්පර දහයක් වත් ගියේ නැත.
ඉතින්, ජපනාට හපනාය කියන්නේ ඔය නිසාය !

Saturday, September 26, 2015

රෝසි සමඟ එකම පංතියේ !

අපි අවුරුදු දෙකක් රෝසි සමඟ එකම පංතියේ උන්නෙමු. ඒක ඔබ හිතන තරම් පහසු කාරියක් නෙමේ.

අපේ පරණ  පන්ති පේළිය දැන් එතැන නැත. ඒ නිසා ඒක තිබ්බ තැන මුලින් ඔබට පෙන්වන්න ඕනෑය. ඒක අවුරුදු සියකට වඩා පැරැණි, තනි පෙළට තිබ්බ තනි තට්ටුවේ බිල්ඩිමකි. එහි එක කොනක් සෙන්ටනරි ගිෆ්ට් ෂොප් එක පැත්තටද අනෙක් කොන සෙන්ටනරි හෝල් එක පැත්තටද විහිදුණේය. අපි හිටියේ ඒ බිල්ඩිමේ මැද්දට වෙන්න පිහිටි හතර-පහ පංති කාමර වලය. මම රෝසි ව හඳුනාගත්තේ හතර "සී" පන්තියේදීය.

රෝසි කළු ය.ඇගේ හම පුරා කබර පැල්ලම් ය. ඇගේ පෙණුම මාන්දමෙන් පෙළෙන්නෙකු වැනි විය. සමවයසේ අනෙක් ළමුන්ට වඩා ඉස්සරහට නෙරා ගිය ලොකු බඩක් ඈට තිබිණි. ඇගේ අත්-පා හරිම අපිරිසිඳු වූ අතර නියපොතු මඩ පිරී හරහට ඇඹරුණු ගතියක් පෙන්නුවේය. කොටිම්ම, "රෝසි" කියන නම  තිබූ ළමයි අතරින් මා දුටු කැතම ළමයා ඈ ය.
සමාවෙන්න ! ඈ ළමයෙක් නොවේ.

කොන්වන්ට් එකට ළමයෙක් දාගන්න ඔච්චර වලි කන්න ඕනි කාලෙක, ඈ හරි පහසුවෙන් පාසැලට ඇතුල් වූයේ ළමයි ගන්නා පෙරිමීටර් එක ඇතුළේ ස්ථිර පදිංචිය තිබ්බ නිසාය. රෝසිලා උන්නේ  කළුවැල්ල ඇළ පාරේ ලොකු ඉස්කෝලේ තාප්පෙට යාබද නිවසකය.

හතර "සී" පන්තියේදී ඈ හිටියේ මම වාඩිවුනු ඩෙස්ක් එකට එක එල්ලේ ඉහළ සිවිලිමේ ය. අපි අලුත් පංතියට පැමිණි පළමු දවසෙම ඈ එතැන ඉන්නා බව මට සංඥා කෙරුණේ සුදු පැහැ ඝන දියරයක් ඩෙස්ක් එක මැද්දට හෙළිමෙනි. හොඳ වෙලාවට ඒක වැටුණේ මගේ ඔලුව උඩට නොව පරිසරය පොත උඩට ය.  ඒ දුර්ඝන්ධය ගැන වචනෙන් කියන්නට බැරිය. ඒක, ආඝ්‍රාණය කරලාම විඳගන්න ඕනා එකකි.
ඒ ජනවාරි මාසයේ සිට ඊළඟ නත්තල් නිවාඩුව වෙන තෙක් රෝසි සමඟ එකම පංතියේ ඉන්නට අපට සිදුවිය. ඈ නිසා අපට බොහෝ උදේ කාලවල පන්තිකාමරේ බිම, ඩෙස්, බංකු වතුර දමා හෝදන්නට සිදුවිය. සිස්ටර් රොසිනාට, මිස් එළිසබෙත්ට, ප්‍රයිමරියේ මිස් පුෂ්පාට තබා ජයවර්ධන අංකල් ට හෝ නගර සබාවේ ලන්කොනිස් ට වත් ඈ මෙල්ල කළ නොහැකි විය. අන්තිමේ අවට ළමයි මාර්ගයෙන් රෝසිගේ භාරකරු අහමඩ් මහතාට ඇගේ ක්‍රියා කලාපය ගැන පැමිණිලි කරන්නට අපට පුළුවන් විය. නමුත් ඈ කිසිවෙක්  මායිම් නොකළාය.

ඇගේ නොපණත් කම් සියල්ල  ඊළඟ ජනවාරියෙන් ඉවරවෙන නිසා අපි ඉවසන් හිටියෙමු. අන්තිමේදී අපි හතරෙන් පහට සමත් කෙරිණ. අපි එහා පංතිය ට මාරු කෙරිණි. එය  අපට ප්‍රීතිමත් ආරංචියක් නොවූයේ ශිෂ්‍යත්ව විභාගය අත ළඟ බව දැණුනු නිසා නොවේ. අර හැම උදෑසනකම දැක්ක සුදුපාට ඝන දියරය ඒ පන්ති කාමරය මැද්දෙත්  විසිරී තිබෙනු මිතුරියක් විසින් පෙන්වීම නිසාය. 

Sunday, October 19, 2014

වසවර්තියා මෙල්ල කළෙමි; නැත, උගෙන් මෙල්ල උනෙමි !

ගණන්කාරයෙක් වෙන්න නවය වසරෙදි බැහැ..ඒක කරන්න පුළුවන් දහය  වසරෙන් පස්සෙ.මම මේක කියන්නේ මගේම අත්දැකීමෙන්.එක්දහස් නවසිය අනූ හයේ   අපි නවය  වසරේ ඉන්න කොට මගේ හොඳම යාළුවා ජයංකාට ලොකු අර්බුදයක් ඇති වුනා.එයා ගියේ අනුෂා මානවඩුගේ ගේ තාත්තා ගෙ ගණිත ටියුෂන් පන්තියට. ඒක තිබ්බේ ලස්ස කඩේ හරියේ....මේ පංතියේ හිටියෙ හතරයි.ජයංකා එකම කෙල්ල.අනික් තුන් දෙනාම එක පැත්තක්ලු.ජයංකාට අනංමනම් කියනවාලු.යාළුවන් වශයෙන් මේ අවනඩුව දරන් ඉන්න බැරි උනා මටත් - අන්ජලාටත් !
ඒ වෙනකොට රටේ ඉඳල තිබ්බෙ ගණන්කාරයෝ දෙන්නයි.
එස්. උපාලි සහ ටී. පත්මෙ...
මේ දෙන්න ඇරුනම වෙන කෙනෙක් හිටියා නම්, ඒ මම.
අවවාදයයි : මේ මෙල්ල කළ නොහැකි කොල්ලෙකි 
මමයි, මගේ අනික් පළුව වන ඇන්ජලා නිවන්තියි ඊලඟ සතියේ ගියා ජයංකා එක්ක යටකී ගණිත පංතියට.ඒ ගණිතය ඉගෙන ගන්න නෙමී, ගණිතය උගන්නන්න...ජයංකාට කරදර කරපු උදේශ් ටයි සිරිමාන්න ටයි.
ගුරුතුමා අපිව හොඳින් පිළිගත්තා.අපි ඉතාම අවිහිංසක ලෙස බංකුව ඉඳගෙන ඉගනගන්න පටන් ගත්තා.එදා ක්‍රිකට් තරඟයක් තිබුනා.දැවැන්ත ක්‍රිකට් ලෝලියෙක් වූ ගුරුතුමා පංතිය අතර මග නිතර නිතර තම නිවස ඇතුළට යනවා..තරඟය නරබන්න.
දැන් අපේ තරඟය,
ගුරුතුමා එළියට ගියා.
ගණන්කාරයෙකු  වන නදීෂා චන්ද්‍රසේන තරඟය ආරම්භ කරමින්..පංතියේ සිටි අහිංසකම කොල්ලෙක් වන නාලක ගෙන් අහනවා "මේ..ටෑන් අනූව කීයද?"
"අනන්තයයි" නාලක කියනවා.
"අනන්තය ලියලා පෙන්නන්න බැරිද?" ආයෙම මම අහනවා.
"බෑ" ..ඊලඟට උත්තර දෙන්නේ නාලකගේ යාලුවා ගයාන් සිරිමාන්න.
"ඔයා එළු පවුලකින්ද පැවත එන්නේ?' මම අහනවා. "අනුන්ගෙ ප්‍රශ්නයකයට හොට දාල "බෑ" කියලා කියන්නෙ එළුවන්ට තමා.." මමම කියනවා.

මෙන්න මේ ආකාරයට වරෙක ඉතා දර්ශනීයව වරෙක ඉතා භයංකාර ලෙස මම ඒ කොල්ලන්ව මැඩෙව්වා.පංතිය අවසානයට කලින් කොල්ලො තුන් දෙනාම නැගිට්ටා, කලින් ගෙදර යන්න.මම මැඩෝනා වගේ ඉතා ආඩම්බරයෙන් යාළුවෝ දෙන්නා එක්ක පංතියෙන් එලියට ආවා.ඒත් අනේ......පංතියෙන් එළියේ ගයාන් සිරිමාන්න සහ මිතුරු කැළ හිටගෙන ඉන්නවා..හරියට ජිනීවා වලදි අපට විරුද්ධව අත උස්සපු ටීම් එක වගේ.දැන් ඉතිං කොහෙට කියලා යන්නද මැඩෝනා ?
මැක්ඩොනල්ඩ්ස්,කේ.එෆ්.සී,පිට්සා හට් වගේ ඒවා ඒකාලේ ගාල්ලෙ නොතිබුනාට... එදා මම කෑවා උපරිම කෑමක්.
ඒනිසා හොඳින් මතක තියා ගන්න..ඔබ ගනන් කාරයෙක් වෙනවා නම්;ඒක දහය වසරෙන් පස්සේ කරන්න. 

Saturday, October 18, 2014

උක්කෝලේ නොගිය කාරියවසම්ගේ කතාව !

පහුගිය අවුරුදු විස්සක් විසිපහක් තිස්සේ මම කිසිම දරුවෙකු සමඟ හුරතල් කතා බහක යෙදී නැත. පොඩි දරුවන් දුටුවිට හිනාවෙනවා විනා උකුලට ගෙන හුරතල් කර නැත. මට එහෙම වෙන්නට සිද්ද වූයේ උක්කෝලේ නොගිය කාරියවසම් මුල්වරට හමුවීමෙන් අනතුරුවය.


එවක මම හත් හැවිරිදි වීමි. ඒ කාලයේ හත් හැවිරිදි කියන්නේ පොඩි ඉස්කෝලේ සෙකන්ඩ් ඉයර් එකේ "අක්කා" කෙනෙක් ලෙස ඉන්නවාය කියන එකය. එහෙම සෙකන්ඩ් ඉයර් එකේඉන්නා අයට බාලාංශේ පොඩ්ඩන්ගෙන් හොඳින් ගරු සැලකිලි ලැබේ. අවුරුද්දක් මුළුල්ලේ දන්නා නිසා බාලාංශේ ගුරුවරුන්ගෙන් ද සැලකිලි ලැබේ. උක්කෝලේ නොගිය කාරියවසම් මට මුල්වරට හමුවන්නේ මා පහල බාලාංශයේ එවන් සැලකිය යුතු පුද්ගලයෙකුව සිටියදීය.


ඒ පහල බාලාංශය හෙවත් පොඩි ඉස්කෝලේ පළමු වසරට ළමයි ඇතුලත් කරගත් දිනයයි. දිනය මතක නැති උනාට ඒ 1989 අවුරුද්දයි. අළුතින් පාසලට ඇතුළුවන බාලාංශ සිසුන් වෙනුවෙන් මමත් ටානියා හඳපාන්ගොඩ ත් පිළිගැනීමේ කතාව කළ අවස්ථාවයි. උක්කෝලේ නොගිය කාරියවසම් අම්මා - පුංචි අම්මා සහ ආච්චි අම්මා සමගින් උත්සව සබාවට ඇතුළු උනේ ඔන්න ඔය මොහොතේය. සියලු දෙනාට අසුන් ගන්නට ඉඩ කඩ ප්‍රමාණවත් නොවූ නිසා ඇගේ අම්මා - පුංචි අම්මා සහ ආච්චි අම්මා මම සිටි අසුනට තරමක් දුරින් වාඩි ගන්නා ලදී. උක්කෝලේ නොගිය කාරියවසම් අසුන් ගත්තේ මගේ උකුළ මතය. ඈ ඉතාම හුරුබුහුටි පෙනුමකින් යුක්ත ඉතාම හුරතල් ගැහැණු දරුවෙක් විය. එදා ඈ එතෙන්ට පැමිණ සිටියේ එදින එක වසර පංතියට ඇතුලත් කර ගත් පුංචි අක්කා වෙනුවෙනි. 


කිසිම සහෝදර සහෝදරියක් නැතිව තට්ට තනියම ගෙදර හැදුණු මම , ජීවිතේ පළවෙනි වතාවට පොඩි දරුවෙක් උකුළට ගත්තේ එදාය. එය "අන්තිම වතාවට" කියා කීවද අවුලක් නැත.

ඒ හුරතල් දැරියගෙන් මම මුලිම්ම ඇසූවේ "බබා ඉස්කෝලේ යනවාද ?:" කියාය. ක්ෂණයෙන් මාදෙස හැරී තර්ජනාත්මක බැල්මක් හෙලූ දැරිය "මම උක්කොලේ යන්නේ නෑ ඕයි " කියා මොරදුන්නාය. ඒ මොරදීම කොයිතරම් දරුණුද යත් උක්කෝලේ නොගිය කාරියවසම්ගේ අම්මාද පුංචි අම්මාද ආච්චි අම්මාද අපේ අම්මාද සැනෙන් එතැනට දුව ආවෝය. ඒ හඩින් උත්සව සබාව කැලඹුනු බවක් මතක නැති උනත් මහා ගාලගෝට්ටියකින් පසු පාර්ලිමේන්තුව මදකට කල් තැබීම වැනි විශේෂණයක් යෙදීමට මම කැමතිය.
උක්කෝලේ නොගිය කාරියවසම් මට සද්දයක් දැමීමෙන් නැවතුණේ නැත. තරහෙන් ඔලුව ගස්සමින් එතෙක් කල් පහලට දමාගෙන උන් ඇගේ කකුල් දෙකත් මගේ උකුළ උඩට ගත්තාය . උක්කෝලේ නොගිය කාරියවසම් අබේසුන්දර පාරේ සිට කළුවැල්ල දක්වා ඇවිදිමින් ගෙනා දූවිලි තට්ටුවක් ඇගේ සැන්ඩ්ල්ස් දෙකේ පතුළේ හැඩයට මගේ සුදු ගවුමේ සටහන් විය. අපි හික්කඩුවේ ගෙදර යනකල්ම ඒ සපත්තු පාරවල් ඇති ගවුම මගදිග මිනිස්සුන්ට ප්‍රදර්ශනය විය.

මම උක්කෝලේ නොගිය කාරියවසම්ගෙන් ඇහුවේ හෙන අහිංසක ප්‍රශ්නයකි. ඒකට ඔය තරම් දරුණු උත්තරයක් ලැබුණේ ඇයිද? ඇගේ අම්මා විසින් පසුව විස්තර කරනකල් මට තිබූ එකම උභතෝකෝටිකය එය විය. උක්කෝලේ නොගිය කාරියවසම් පවුලේ බාලයය. අයියලා අක්කලා පමණක් නොව අම්මාද හැමදාම උදේ පාන්දර ඉස්කෝලේ යන්නේය, හවස ගෙදර එන්නේය. අසීමිත නිදහසකින් ගෙදර පෙරළන උක්කෝලේ නොගිය කාරියවසම් විස්සයි -විස්සේ පන්තිකාමරයකට හිරවෙන දවස ගැන උන්නේ නොමනාපයෙනි.මා ඇසු අහිංසක ප්‍රශ්නය කළුවැල්ල පෙරළන දරුණු ප්‍රශ්නයක් වූයේ ඒ නිසාය. අපේ අම්මා නං තාම හිතාගෙන ඉන්නේ එදා මා විසින් කියූ අලුකුත්තේරු කතාවක් නිසා උක්කෝලේ නොගිය කාරියවසම්ට තරහ ගිය බවය.

කොහොමහරි මම නං අවුරුදු දහතුනකට පසුව ඉස්කෝලේ යාම නතර කලෙමි. නමුත් එදා මා පත්කළ අපහසුතාවට කළ කම් පලදීමක් ලෙස උක්කෝලේ නොගිය කාරියවසම් අදටත් ඉස්කෝලේ යන්නේය. වයස පනස්පහ පිරෙනකල්ම ඉස්කෝලේ යන්නේය.

විජේවීර සහෝදරයාගේ පන්ති පහට සහභාගී උනෙමි !

විජේවීර සහෝදරයාගේ පන්ති පහට සහභාගී වන විට මට වයස අවුරුදු දහතුනකි. එය සමාජ දේශපාලනික පෙරළියක් කිරීමට කිසිසේත්ම නුසුදුසු වයසකි.  අසූ ගණන් වල හිතුවක්කාරයෙක් වන මට එහි බරපතළකම වැටහෙන්නේ දැන්ය.
මේ කියන්නේ නවසිය අනුගණන් ගැනය. විජේවීර සහෝදරයා සහ ඔහුගේ පන්ති වල වටිනාකම ශිෂ්‍ය ප්‍රජාවට වැටහුණු නවසිය අනුගණන් ගැනය. ඔය කියන නවසිය අනුපහ අවුරුද්දේ අපේ පාසල ඇතුළට විත් හත අට වසර වල සිසුවියන්ට පන්ති පවත්තන්නට අවසර ලැබී තිබුනේ විජේවීර සහෝදරයාට පමණි. අසූ අටේ පාසල ඉදිරිපිටින් කොල්ලන් කෙල්ලන් පෙළපාලි යද්දී මුළු දකුණු පලාතෙම්ම එකම සිසුවියක් හෝ පාරට නොබැස්සවු විදුහල්පතිනිය හිටියේ අපටය. ඇගේ විශ්වාසය උපරිමයෙන් දිනා ගනිමින් පාසල් වේලාවෙන් පසු හැම බදාදාම පැය දෙකක් හත අට වසර වල සිසුවියන්ට පන්ති පවත්තන්නට විජේවීර සහෝදරයාට හැකි විය. කොහොමත් ඔහු ක්‍රියාවේ හා කතාවේ හපනෙකි.


ඔය කාලය වන විට විජේවීර සහෝදරයා දකුණේ ජනප්‍රිය පුද්ගලයෙකි. බොහෝ පාසල් වල  නිවාසන්තර ක්‍රීඩා උළෙලවලදී ඔහු හා  සටන් සගයන් නිතර දක්නට ලැබුනේය. තමන්ට හැකි පමණ අනෙකාට උදව් කිරීම ඒ කාලයේදී පවා ඔහු තුළ පවතී මාහැඟි මිනිස් ගතියකි.
සහෝදරයාගේ පළමු බදාදා පංතිය, කොට්ටව කැලය ගැන හඳුන්වාදීමක් විය. කොට්ටව කැලය යනු ගාල්ලේ කැලෑ සටන්වල කෙම්බිමයි. බොහෝ සටන් කාමීන්  අදත් නිහඬව කොට්ටව කැලය තුළ නිදති. සහෝදරයා නං එදා අපට කියා දුන්නේ කොට්ටව කැලයට එන සංචාරක පක්ෂීන් ගැනත් ආවේණික තුරු ලතා ගැනත් ජෛව විවිධත්වය ගැනත් විතරය.
සගයෙකුට අනතුරක් වී නම් උරමාවක් දමන ආකාරය උගන්නන ලද්දේ සහෝදරයාගේ දෙවන  බදාදා පංතියේදිය.  තුන්වන බදාදාවත් හතරවන බදාදාවත් ගත කරන ලද්දේ උරමාවේ ප්‍රැක්ටිකල් කරමිනි. ඒ නිසා හතරවන පන්තිය වනවිට සහෝදරයා හඳුන්නන ලද්දේ "උරමාවා" යන නමිනි.  ඒ කාලයේ සහෝදරවරුන්ට නමට අමතරව එක්කර ගත් අන්වර්තනාමයක්  තිබීම අත්‍යවශ්‍ය දෙයක් විය.
සහෝදරයාගේ පස්වැනි  බදාදා පංතිය, සම්පුර්ණෙම්ම තියරි පන්තියක් විය. මොනිටර් එක්සයිස් පොතේ පිටු හයක් විතර පුරා අපි ලියාගත් තියරි සියල්ල සහෝදරයා කීවේ මතකයෙනි. අඩුගානේ කොළයක්වත් නොබලමිනි.
ඒ වන විට මේ පංති කෙරුවාව අට වසර කෙල්ලන් අතර ජනප්‍රිය වන්නට වූ අතර බොහෝ දෙනෙක් බදාදා හවස පංතිවලට එන්නට පටන් ගෙන උන්හ.එහෙයින් අපි මුලින් හිටි පන්ති කාමරයේ  ඉඩ මදිවීම  නිසා ක්‍රීඩා පිටිය ඉදිරිපිට ටෙන්ට් එකේ පන්ති කරන්නට පටන් ගතිමු.
නමුත් හයවෙනි බදාදා වෙද්දී සහෝදරයා අතුරුදන් විය.
එකල, හිතහොඳ සටන්කාමි සහෝදරවරු  පන්ති කරන්නට පැමිණීමත් හදිසියේ අතුරුදන් වීමත් සාමාන්‍ය සිදුවීමක්ව තිබුණි. ඒ නිසා  අපි සහෝදරයා ගැන හොයන්නට නොගියෙමු.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
මට සහෝදරයා ආයේ මුණගැසුනේ පහුගිය සතියේ ෆේස්බුකියේදිය. ඒ වන විට විජේවීර සහෝදරයා විසින් අපට ශාන්ත ජෝන් ගිලන්රථ සේවයේ ප්‍රථමාධාර පංති පවත්වා අවුරුදු දහනවයක් ඉක්ම ගොස් තිබිණි.



Monday, January 27, 2014

ආමර් වීදිය බෝම්බයෙන් නත්තල් සීයා මිය ගියේය

එකල අපට හැමදාම නත්තල් තිබිණි., නොවැම්බර් මාසයේදීය. දෙසැම්බර් නිවඩුවට පෙර පොඩි ඉස්කෝලේ පවත්වන නත්තල් සැමරුමට නත්තල් සීයා පැමිණීම අනිවාර්ය විය. ඔහු "බන්ටි" ටොෆිරැගෙන ආවේය. හැම අවුරුද්දකම නොවැම්බරයේ අග අපි ඔහු එනකල් බලා සිටියෙමු. ඔහු සමඟින් එක්ව ෂෙඩ් එක පුරා නටමින්, ගයමින්, දුවමින්, බිම පෙරළෙන්නටය.නත්තල් සීයා පැමිණියේ කාගේ හෝ වෑන් එකකිනි. ලොකු ඉස්කෝලෙ සිටය.තම කාරිය අහවර වූ විට පැමිණි වෑන් රථයෙන්ම ඔහු ආපිට ලොකු ඉස්කෝලේ බලා ගියේය. උදේශිලා ගේ ගෙදරට මුහුණලා තිබූ එක වසරසී” පංතිකාමරය මැද්දෙන් බැලුම්බෝල ගොඩක් ඇමිණූ රිටක් කරේ තබාගෙන නටමින් එන නත්තල් සීයා දැනුත් ජීවමානය. වරක්, කවරෙක්දැයි සොයා ගන්නට තිබූ උවමනාව නිසාම නත්තල් සීයා ආපිට ගිය වෑන් එක පස්සෙන් දිවූ නිසා මම මිස් දේවිකාගෙන් බැණුම් අසා ඇත්තෙමි. "අම්මා හිටියේ නැත්තම් මෙයාව ගෙදර යවනවාම'" කියා එදා මිස් දේවිකා තරහෙන් පිපිරුණි. නිසා පොඩි ඉස්කෝලේ හිටි කාලයේ නත්තල්  නත්තල් සීයා කාගේ කවුද කිය සොයා ගැනීම නවත්තා දැමීමට සිදුවිය. නත්තල් සීයා හරියටම හඳුනා ගන්නාවිට මා උන්නේ හතර වසරේය.


ඔහුගේ නම "නිකුලස්" නොව "ක්වින්ටස්" විය. සර්ලා අතේ ඇඟිලි ගණනට හිටි අපේ ඉස්කෝලේ ලාබාලම සහ ප්රීතිමත්ම ගුරුවරයා ඔහු විය. ඔහුට තිබුණේ පොකුරු ගැහුණු බොකුටු කොණ්ඩයකි. හීනි උඩුරැවුලකි.ඔහු සර් තිලක් තරම් කළු නැති බවත් සර් ලාල් තරම් සුදු නැති බවත් මට මතකය. සර් ක්වින්ටස් හිනා වෙන විට ඇස් දෙක හීනි වෙන්නේය. කම්මුල් වළ ගැහෙන්නේය. දත් දෙපෙළම විවර වෙන්නේය. එහෙම වෙන්නේ මුළු හදවතිම්ම ප්රීතිමත් හිනාවෙන කෙනෙකුට පමණි.
ඔහු ඉගැන්නූයේ "ක්රිස්ටියැනිටි" . නවය වසර පංති කාමර පේළිය පටන්ගන්නා තැනම තිබූ "ක්රිස්ටියැනිටි කෝනර්" එකේදීය. ඊට එහා පැත්තේ "ගද්යපාඨ කියවීම" පුහුණු වෙමින් මා, ඔහු උගන්වනු බලා හිඳ ඇත්තෙමි. ඔහු ඉගැන්නූ කිසිවක් දැන් මගේ මතකයේ නැතත් ගතවූ අවුරුදු විස්සටම මට මතක එක දෙයක් තිබේ. ඔහුගේ හිනාවය. සර් ක්වින්ටස් හිනා වෙන විට ඇස් දෙක හීනි වෙන්නේය. කම්මුල් වළ ගැහෙන්නේය. දත් දෙපෙළම විවර වෙන්නේය. එහෙම වෙන්නේ මුළු හදවතිම්ම ප්රීතිමත් හිනාවෙන කෙනෙකුට පමණි.
නත්තලට නත්තල් සීයා වී බන්ටි ටොෆි බෙදූ ඔහු වෙසක් එකට සිල් සමාදන් වෙන ළමයින්ට දහවල් දානය බෙදුවේය.ජූලි මාසයේ බණට හාමුදුරුවන් වඩින විට "පා දෝවණය කරන තැන" කවදත් සිටියේ ඔහුය. ඉස්කෝලේ ගුරු මණ්ඩලයේ "අක්කලා" හැත්තෑ දෙනාට සිටි හොඳම "මල්ලී" ඔහු බවට මට අදටත් සැකයක් නැත්තේය.
අනූ තුනේ මැයි පළමු වෙනිදා පිපිරූ ආමර්විදිය බෝම්බයෙන් නත්තල් සීයා මිය ගියේය. නත්තල් සීයා කෙනෙකු මිය යාමට කිසිසේත්ම නුසුදුසු වයසකදී .එවක ඔහු විසිපස් හැවිරිදි වී යැයි මම සිතමි. ගාල්ලේ සිටි අදේශපාලනික නත්තල් සීයා, කොළඹ 15 දේශපාලනරැලියකදී මියගියේ කෙසේද කියා මා දන්නේ නැත. කිනම් හෝ කටයුත්තකට කොළඹට එන මිනිසුන්ව ලංගම බස් වල නංඟාගෙන දේශපාලනරැලි වලට ගෙනියන්නට පටන් ගත්තේ ඔන්න ඔය කාලයේදී බව නම් මා දන්නවාය.

Saturday, November 16, 2013

දිනූෂා ගුණතිලක ගඟට ඉණි කැපූ කාලයක් තිබිණි.

අපේ වෙස්ටර්න් බෑන්ඩ් එකෙන් සාමාජිකයෙක් ඉවත් වන්නේ නම් "මෑන් ‍ටු මෑන්"කවර් කළ යුතු කාලයක් විය. දිනූෂා ගුණතිලක වෙස්ටර්න් බෑන්ඩ් එකෙන් ඉවත් වන්නට තීරණය කළේ එවැනි කාලයකය. එවකට බෑන්ඩ් එකේ එකෝඩියන් එක වාදනය කළ ඈ  වෙනුවෙන් ඇගේ ස්ථානය කවර් කිරීමට ‍තෝරාගෙන තිබුණේ නදීෂා චන්ද්‍රසේන ය.
එය හරි අපූරු ‍තෝරා ගැනීමකි.ඒ පිළිබඳ පළමු යෝජනාව පැමිණියේ ඇගේ මව හරහා මගේ මවගෙනි. පාසලේ උසස් පෙළ ගුරුවරුන් වූ අපේ අම්මලා තම විවේකාගාරය ලෙස භාවිත කළ බයෝ සයන්ස් ලැබ් එක තුළ දී මේ පිළිබඳ අදහස් හුවමාරු වන්නට ඇති බවත් එහිදී නදීෂා චන්ද්‍රසේනගේ නම ඇගේ අම්මා විසින් යෝජනා කරන්නට ඇති බවත් මම සිතමි. කෙසේ වෙතත් එය "විද්‍යා පීඨ පුහුණුවට පසු ගුරු රස්සාව ලැබීම" වැනි විශ්වාස දායී පැකේජයක් විය. දිනූෂා ගුණතිලක විසින් නදීෂා චන්ද්‍රසේනට අඛණ්ඩ එකෝඩියන් පුහුණුවක් ලබා දෙනු ඇත. පුහුණුවෙන් පසු අනිවාර්යයෙන්ම ‍රැකියාව ලැබෙනු ඇත.


පුහුණුව ලබා දුන්නේ සඳුදා සිට සිකුරාදා දක්වා උදේ හයාමාරේ සිට හතහමාර වන තෙක් පාසලේ  ප්‍රථමාධාර කාමරය ඉදිරිපිටදීය. ඒ සඳහා භාවිත කළේ දිනූෂා ගුණතිලක එවකට වාදනය කළ පත එකෝඩියනය නොවේ, 1967 දී පාසලේ පළමු බෑන්ඩ් කණ්ඩායම පිහි‍ටුවන විට භාවිත කළ හිස්ටෝරිකල් එකෝඩියනය ය. එය ඉතා හුරුබුහුටි සැහැල්ලු වාදන භාණ්ඩයක් විය.
පුහුණුව ඇරඹුනේ දිනූෂා ගුණතිලක විසින්  ශ්‍රි ලංකාජාතික ගීය වාදනය කරනු ලබන අන්දම කියා දීමත් සමඟය.එය රටේ චිරාගත සම්ප්‍රදායයක් ය සිතමි. නමුත් ජාතික ගීය වාදනය කිරීම අපහසු කාරියක් වූ නිසා දෙවැනි දවසේ සිට "මේරි හැඩ් අ ලිට්ල් ලෑම්බ්" කියා දෙන ලදී.

දිනූෂා ගුණතිලක හෙනම උසය.ලස්සනය.ඇගේ අත්වල ඇඟිලි හෙනම දිගය.පියානෝ සහ එකෝඩියන් වාදනයට කියාපු අත් දෙකය.
නදීෂා චන්ද්‍රසේන හෙනම මිටිය. ලස්සනත්, අතේ ඇඟිලි වල දිගත් උසේ හැටියටය.

මේ පුහුණුව ඉතා වෙහෙසකර විය. පොත් බෑග් එක පපුව මැද එල්ලා සිටින්නා සේ එකෝඩියන් එක එල්ලා ගෙන හිඳිනු මදිවාට අත් දෙකෙම්ම එය වාදනය කළ යුතු විය. දකුණු අත කෙසේ වෙතත් වමත නම් ඊට හුරු වූයේම නැත.නමුත් දිනූෂා ගුණතිලක දිනපතා උදේ හයට පාසලට පැමිණ සිස්ටර් රොසිනාගේ කාමරය ඉදිරිපිට අල්මාරියෙන් එකෝඩියනය ගෙන කිසිදු වෙනස් කමකින් තොරව පුහුණුව ලබා දුන්නාය. දිනක් දෙකක් නොව පුරා මාස දෙකක්, සඳුදා සිට සිකුරාදා දක්වා උදේ හයේ සිට උදේ හතහමාර වනතුරු  සිස්ටර් රොසිනාගේ කාමරය ඉදිරිපිට අල්මාරියෙන් එකෝඩියනය ගෙන කිසිදු වෙනස් කමකින් තොරව පුහුණුව ලබා දුන්නාය.
ඒ වන විට පුහුණුවට මාස දෙකක් ගත වී තිබිණි. වරක් පාලර් එකේ නදීෂා චන්ද්‍රසේන දු‍ටු සිස්ටර් රොසිනා ඇගෙන් මෙසේ ඇසීය. "නදීෂා, දැන් කොයිතරම් දුරට ප්ලේ කරන්න පුළුවන්ද?"
"මේරි හැඩ් අ ලිට්ල් ලෑම්බ්" වල "ලිට්ල් ලෑම්බ්" කොටසට වෙන කල් පුළුවන්ය කියා නදීෂා චන්ද්‍රසේන උත්තර දුන්නාය.ඉන්පසු ජීවිතේ කිසි දිනෙක සිස්ටර් රොසිනා නදීෂා චන්ද්‍රසේන ගේ එකෝඩියන් ට්‍රේනින් එක ගැන ඇසුවේ නැත.
තුන්වෙනි මාසය වනවිට නදීෂා චන්ද්‍රසේන පාසලෙන් ඉවත් වී වෙනත් පසලකට ගිය නිසා මේ පුහුණුව නැවැත්වීමට සිදුවිය.අදටත් එකෝඩියනයක් ලබා දෙන්නේ නම් "මේරි හැඩ් අ ලිට්ල් ලෑම්බ්"වල  "ලිට්ල් ලෑම්බ්" කොටස දක්වා වාදනය කිරීමට නදීෂා චන්ද්‍රසෙනට හැකිය.
 
;