Thursday, May 31, 2012

කන්දෙවත්තේ ගැන්සිය නිසා පාසල අහිමි කර ගතිමි.





කන්දෙවත්ත පිහිටියේ පාසලට සැතපුම් කාලක දුරිනි.කන්දෙවත්තේ සිට ඊ ඒ පවුලිස් මාවත හරහා පාසලට පයින් ඇවිද එනවුන් කන්දෙවත්ත ගැන්සියට අයත් විය.රුවිනි දීපානි ඉමදූව,ක්‍රිස්ටීන් සිල්වා,ප්‍රසන්සනී පෙරේරා,ගීතාංජලී අබේගුණවර්ධන,ඉෂානි ලක්මාලි සහ ෂානිකා මෙහි නිත්‍ය සාමාජිකයෝ වූහ.
කණ්ඩායම් දේශපාලනය පිළිබඳ මා ජීවිතයේ පළමු පාඩම උගත්තේ ඔවුන්ගෙනි.මේ පිරිස එක්ව පාසලට පැමිණියහ,එක්ව නැගී සිටියහ,එක්ව විසිර ගියහ.පංතියේ මොනිටර් තේරීමේ සිට කුදුමහත් සෑම කාරියකදීම කන්දෙවත්ත ගැන්සියේ මනාපය තීරණාත්මක විය.ඔවුන් අත "රිමෝට් කන්ට්‍රෝලරය" වූයේ යැයි මම සිතමි.එකල්හී පාසල කන්දේවත්තට ලියා දුන්නාක් මෙන් විය.එය කන්දෙවත්තේ වාසනා,කන්දෙවත්තේ සුභාෂිනී හා කන්දෙවත්තේ මධුභාෂිනීගේ යුගයයි.
මේ පිරිස වැඩකරුවන් මෙන්ම මොළකරුවන්ද විය.ඔවුන් මට මුලින්ම හමුවන්නේ 1987 දීය.ඒ පාසලේ පළමු වසරට සිසුන් ඇතුළත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණයේදීය.ඔවුහු පාලර් එක මැද ජේසුස් වහන්සේගේ සුරුවම යට රොක්වී පළාත දෙවනත් කරමින් උන්හ.මා ඔවුන් වෙත පැමිණියේ නමුදු ඒ කිසිවකු මා ගණන් නොගත්හ.එනමුදු මම ඔවුන් හා එක්වීමේ තදබල ආශාවකින් පෙළුනෙමි.ඔවුන් කවුදැයි මා විසින් කිහිප වරක්ම අසන ලද අතර "අපි කන්දෙවත්තේ" යැයි අවසානයට පිළිතුරු ලැබිණ.
පාසලට කිලෝමීටර 26 ක් දුරින් පදිංචි මා පළමු ශ්‍රේනියට ඇතුළත් කර ගැනීම වෙනුවෙන් මාගේ දෙමාපියන් විසින් විශාල මුදලක් වැය කොට සෙන්ට්‍රල් රෝහලට යාබදව නිවසක් කුළියට ගන්නා ලද අතර සම්මුඛ පරීක්ෂණයේදී පදිංචිය කොහිදැයි විමසූවිට අංක 26,කළුවැල්ල,ගාල්ල ලෙස පිළිතුරු දීමට මා හුරු කරවන ලදී.ඒ හුරු කරවීම කෙතරම් හිසරදයක් වීද යත් එකල මගේ මව පියා පමණක් නොව අල්ලපු ගෙදර උදවිය පවා මා දු‍ටු සැනින් ඔය ප්‍රශ්නය අසයි.
සම්මුඛ පරීක්ෂණයේ මගේ වාර එළැඹුනි.පදිංචිය කොහිදැයි යන ප්‍රශ්නය ඇසුවේ මගේ මවගෙනි.එහෙත් ඇය උත්තර බැඳීමට පළමුව "අපි කන්දෙවත්තේ" යැයි මම පැවසීමි.ඒ මොහොත අකුණු දහසක් එකවර පුපුරා ගිය නිමේෂයකි.සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය මුහුණට මුහුණ බලාගත් අතර ප්‍රශ්න ඇසීම එතෙකින් නිම විය.ඒ පිළිතුර ලබා දීමෙන් මා අපේක්ෂා කලේ කන්දෙවත්ත ගැන්සිය මගේ මිතුරන් බව පෙන්වීමටත් ඔවුන් හා එක්වීමටත්ය.
ගාල්ල ශ්‍රී හර්දය කන්‍යාරාම බාලිකා මහා විද්‍යාලයේ පළමු වසරට ළමුන් ඇතුළත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණයෙන් මා අසමත් බව ඊට දින පහකට පසුව දන්වනු ලැබිණි.
කෙසේ නමුත් 1988 මාර්තු මස 17 වැනි දින මා පාසලට ඇතුළත් කර ගන්නා ලදී.එය වෙනමම කතාන්දරයකි.

"වතුරට බය" ලක්නදී ද සිල්වා


මා දන්නා ද සිල්වා ගොඩකි.මේ කතාව ලක්නදී ද සිල්වා ගැනය.ඈ විද්‍යා විෂයයන් ඉගෙනගත් අතර ඇගේ ප්‍රියතම විෂයය "දේශපාලන විද්‍යාව" විය.එහි සියලු අක්මුල් මනාව දත් ඈ නාසරත් නිවාසයීය විවාද කණ්ඩායමේ "කෝචර්" විය.ඈ සහ ඩේව් වට්මෝර් කෝචර් තනතුරු හෙබවූයේ එකම අවධියකදීය.ඒ 1996 වසරයි.ඩේව් වට්මෝර්ගේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානය දිනාගත් අතර ලක්නදී ද සිල්වාගේ මඟ පෙන්වීම යටතේ නාසරත් නිවාසය අන්තර් නිවාසයීය විවාද කණ්ඩායම් ශූරතාව දිනා ගන්නා ලදී.ලක්නදී ද සිල්වා යනු එවන් කෙනෙකි.ඈ පිටියට බැස්සානම් ලෝක කුසලානය ෂුවර්ය.
ඈ දහතුන වසරේ සිටියදීත් ඇගේ ගෙදර උදවිය ඈ ඇමතූයේ "බබා" ලෙසිනි.නමුත් ජීවිතයේ කිසි කළෙක ඈ බබෙකු ලෙස හැසිරෙනු මා දැක නැත.ලක්නදී ද සිල්වා ඒ තරම් උදාරම් කෙනෙකි.
එනමුදු ඈ වතුරට ඉතා අකමැත්තක් දක්වන බව මම මෙහි සඳහන් කරන්නේ ඉතා සංවේගයෙනි.ඈ දින කීයක් නම් "නාන කාමරයේ දමා දොර වසා ඇත්දැයි" ඇගේ අයියලාගෙන් ඇසිය යුතුය.නාන කාමරයේ දමා පිටතින් අගුළු ලෑවද මේ වීර කාන්තාව ඒ කිසි දෙනෙක දිය නා නොතිබූ බව මම දනිමි.ඒ ඇගේ හැටිය.ඈ නාන්නේ ඈට ඕනෑ දිනකය.

Tuesday, May 22, 2012

අහංකාර ස්ත්‍රී - නටාලියාගේ පළමු රඟපෑම




යුගයේ අසාහාය නිළි නටාලියා පෙරේරා ඔබට මතකද?ඔබ විසින් ඈ අමතක කර දමා ඇත්තේ ඇයි දැයි මම නොදනිමි.ඈ 1993 දී මුළු මහත් කළුවැල්ලම අමන්දානන්දයට පත් කරමින් රසික හදවත් ලෝලනය කළ අතර එවකට යම් තරමක "අක්කලා" වු අපි එදෙස බලා උන්නේ කන පැලෙන ඉරිසියාවෙනි.
එය, මිස් බ‍ටුවත්තගේ කුළුඳුල් නාට්‍ය නිර්මාණය විය.නටාලියා එහි ප්‍රධාන නිළිය වූවාය.සෙසු සියල්ල අප්‍රධාන නිළියන් වූ බැවින් ඔවුන් කවුදැයි මට මතක නැත.
නටාලියා එහි රඟ පෑවේ මවකගේ චරිතයයි.ඒ මව ඉතා අහංකාර සෙල්ලක්කාර භයංකාර කෙනෙකි.ඇගේ අහංකාර කම නිසාම සිය දරුවා අනතුරකට පත්වන අතර නාට්‍යයට අනුව "දොස්තර හොඳහිත" වැනි කෙනෙක් පැමිණ ඒ දරුවා බේරාගන්නේය.මේ චරිතය රඟපෑම නිසා අපි හොර රහසේ කිහිප විටක්ම ඈ විවේචනය කර ඇත්තෙමු.මෙහි "අපි" යැයි කියන්නේ ගීතාංජලී අබේගුණවර්ඡන,ඉෂානි ලක්මාලි,රවී ප්‍රභා,නීනා වික්‍රමරත්න වැනි ලඳුන්ය.මම නම් බැන්නේ ඉතා ටිකකි.මේ නාට්‍යය නිසා නටාලියා නැමති නිළිය පාසල තුළ අතිශය ජනප්‍රියත්වයට පත්විය.ඈ එහිදී දැමූ මේකප් එක වැනි මේකප් එකක් මගේ මුළු ජීවිතයටම මම දැක නැත්තෙමි.එය මතක් වන විට මට හැඬෙයි.මෙවැනි බංගසාල මේකප් එකකින් ඈ හැඩ කළේ ඇගේ අම්මා බවත් මට මෙහිදී සිහිවේ.කෙසේ වෙතත් ඈ එම චරිතයට මනාව අවතීර්ණ වී උන්නාය.නාට්‍යය අවසානයේ අපි සියල්ලන් කතා වූයේ "මොන එහෙකට මෙයාව මේකට ගත්තාද" කියාය.එහෙම කිව්වේ ඉරිසියාවට බවත් ඈ ඉතා දක්ෂ නිළියක් බවත් තව නාට්‍ය හතරක පමණ රඟපෑවා නම්; අමිතාබ් බච්චන් ලංකාවට පැමිණ ජැකී වෙනුවට නටාලියා බොලිවුඩ් ගෙන යාමට ඉඩ තිබූ බවත් මම අවංකව ප්‍රකාශ කර සිටිමි.
බොලිවුඩයේ අවාසනාවට එය එසේ සිදු වූයේ නැත.

Wednesday, May 2, 2012

මට තිබූ ලොකුම ගැටළු


මම හරිපුදුම ඉස්කෝලේ හෝඩියේ පංතියට ගිය දා පටන් මගේ හිතේ ගැටළු ‍රැසක් පැවති අතර ඒවා අද දක්වා නොවිසඳී මගේ හිතේ ‍රැඳි ‍රැඳී පවතී.
එම ගැටළු මෙසේය.

1)  ටානියා හඳපාන්ගොඩ වැනිලා අයිස්ක්‍රීම් නොකන්නේ ඇයි?
2)  ප්‍රසංසනී හා ක්‍රිස්ටීන් යනු කිඹුල්ලුද?
     *තනූශා ප්‍රසංසනී පෙරේරා හා ක්‍රිස්ටීන් සිල්වා
3)  මේන් හෝල් එක පිටිපස්සේ ඇති ගල් ගුහාවට "තනියම" ගිය කෙනෙක් සිටීද?
4)  ටීචර්ස් ටොයිලට් එකට හොරෙන් යාම හොඳද?
5)  අපිට ක්‍රිකට් ටීම් එකක් නැත්තේ ඇයි?
6)  සිස්ටර් රොසිනා අපේ නම් දන්නේ කොහොමද?
7)  කන්දෙවත්තේ "සෙට් එක" ට අපි බය විය යුත්තේ මන්ද?
8)  මිස් නොරීන් ගේ ඉංග්‍රීසි පංතිය රවීන්ද්‍රගේ බූදලයක්ද?


මේවාට පිළිතුරු දන්නා කෙනෙක් සිටී නම් කරුනාකර කොමෙන්‍ටුවක් දමන්න.


කෝච්චිය.


"චේන්ජ් වී නීඩ්" යැයි කියා මුලිම්ම දුම්රියේ ගමන් ගත්තේ මමත් චමනි දයානන්දත්ය. පසුව "චේන්ජ් වී නීඩ්" සමූහයට තව බොහෝ කෙල්ලන් හා කොල්ලන් එකතු විය. "වෙනසක්" අවශ්‍යව  තිබුණේ බාලාංශයේ සිට ස්කූල් වෑන් එකේ ආගිය උන්ටය. වයස පිටිපස්සෙන් "ටීන්" කියා කියවෙන්නට පටන් ගත දා සිටම මේ උවමනාව අපට තදින් දැනී තිබිණි. ඒ වෙනස අපට ලබා දුන්නේ පළමු වැනි වේදිකාවට දැන් පැමිණි දුම්රිය විසිනි.
පළමුවැනි වේදිකාවට ඒ දැන්  පැමිණි දුම්රිය අළුත්ගම බලා ධාවනය වූ මන්දගාමී එකකි.එය අළුත්ගම දක්වා වූ සෑම දුම්රිය ස්ථානයකම නැවැත්වූ අතර සිග්නල් නැතිවූ විට දුම්රිය ස්ථාන නැති තැන්වල පවා නැවැත්වීය.
ඔය දුම්රිය මට ඉස්කෝලයක් විය. ලිවීම කියැවීම හැර බොහෝ පාඩම් මම එහිදී ඉගෙන ගෙන ඇත්තෙමි.ජීවිතය යනු අපට උවමනා අයද, අපට නුවමනා අයද, අපිව උවමනා අයද, අපිව නුවමනා අයද යන  මේ සියල්ල සමඟ එකම දුම්රියේ යන ගමනක් බව මට තේරුම් යන්නේ මේ කොච්චියේදිය. ඒකට තිබුනේ කම්පාර්ට්මන්ට් තුනකි. අවහිරයකින් තොරව මැදිරියෙන් මැදිරියට මාරු වෙන්නට හැකි වුවද ඒ සියලු මැදිරි වල උන්නේ එකිනෙකට වෙනස් මිනිස්සුය.

කෝච්චිය වේදිකාවට එන තෙක් ලොව වැඩිම වේලාවක් කල් මරන්නට ඇත්තේ "අපි" යැයි සිතමු.එය තව තවත් ප්‍රමාදවීම අපේ අප්‍රමාණ ප්‍රීතියට කරුණක් විය.මිනිසුන් සදාකාලිකව කෝච්චි තුළ ජීවත් නොවන්නේ මන්ද? එය එසේ වූවා නම්, චමනි දයානන්ද ඩුබායි නොයනු ඇත.සකුරා කොතමලේ පැත්ත පළාතක් නොබලනු ඇත.දිනිති පතිරණ එකවුන්ටන්ට් ජොබ් නොසොයනු ඇත.ජීවනී සහ රුවනී ද ඒ කෝච්චියටම නගිනු ඇත.එය එසේ වූවා නම් රොෂාන්ති තවමත් මගේ පිටිපස්සෙන් වැටී හිඳීවි.කැමති වූවත් අකමැති වූවත් තිරුණි ලියනගේ ගෝමස් ද අපි සමග එක්වනු ඇති බව මම දනිමි.මිස් ආරියරත්න නැති කෝච්චියකින් වැඩක් නැත.ඒනිසා, කුමාරකන්දෙන් ඇයව වෙනම නග්ගා ගත යුතු වන අතර ඇය වෙනම කම්පාර්ට්මන්ට් එකකට යැවිය යුතුය.ඈ අප අසළ සිටීම ඇගේ සෞඛයට හිතකර නැත.

මේ දුම්රියට නග්ගා ගත යුතු වෙනත් අය කවුද? ඇලෝසියස් ගිය සියල්ලන්ම එහි නග්ගවා ගතයුතු මම යෝජනා කරමි.අනෙක් ඉස්කෝල වලින් කවුරු නැග්ගත් මට එකය.එය සියල්ලන්ටම එසේ නොවන බව මම දනිමි.
තුන්වන පංතියේ ටිකට් ගෙන දෙවන පංතියේ වාඩිවූ අපි,,දෙස බලා "ඔහොමම ඉන්න යැයි" කියූ "චෙකර් අංකල්ලා" කොයි තරම් හොඳ හදවතක් තිබූ අයද..අපි ඒ සියල්ලන්වම මෙහි නග්ගවාගත යුතුය.සුද්දන් සහ ඔවුන්ගේ බිරින්දෑවරුන්/පෙම්වතියන් දනොමැතිව මේ දුම්රිය ට කිසි ගතියක් නැත.එවන් ජෝඩු ආදරයෙන් ලංවී සිටිනා ආකාරය සහ ඔවුන්ගේ කතා බහට ඉතා ප්‍රවේශමෙන් ඇහුන්කම් දෙන චමනි සහ සකුරා මෙහිදී ආදරයෙන් සිහිපත් කරමු.
මට කෝච්චියේ දොරේ එල්ලෙන්නට ඕනෑ වුනු නිසා මා සමඟ එසේ කළ, මට ෆුට් බෝඩ් යන්නට ඕනෑවූ නිසා මා සමඟ එසේ ගිය,මට ආරක්ෂාව ඕනෑ වූ විට ඉදිරිපෙළ හා පසුපෙළින් මා ආරක්ෂා කළ සියල්ලන්ටම ස්තූතියි.ඔබ මෙතරම් නරක් වූයේ මා නිසාය.

චතුරිකා

චතුරිකා මම දාන හැම පෝස්ට් එකකටම හැම ෆොටෝ එකකටම,හැම කතාවකටම ලයික් කරනවා.ඒත් ජීවිතේ ලඟින් හිටපු එක්තරා කාලයක අපි අපිවම අන්ලයික් කර ගත්තා දිගට - හරහට.එකම ස්ටේෂන් එකක දෙපැත්තකට යන කෝච්චි දෙකක අපි හිටියේ.එයාල නැගෙනහිරට-අපි බස්නාහිරට.ජීවිතේ කවදාවත් එකම පැත්තට ගියේ නෑ.
අපි පරණ ලී බංකු ටියුෂන් පංතියේ දෙපැත්තක වාඩිවෙලා ඊශ්‍රායෙල්-පලස්තීන් වගේ මුහුණට මුහුණ බලාගෙන හිටියේ..කවුරු මුලින් ප්‍රහාර එල්ල කරයිද කියලා.
අපිට තරහා වෙන්න, එකිනෙකාව පෙන්නන්න බැරි වෙන්න කිසි හේතුවක් තිබ්බෙ නෑ.ඒත් ශිෂ්ටාචාරයේ ශත වර්ෂ ගනනාවක් මුළුල්ලේ ගාල්ල පැත්තට සහ අම්බලන්ගොඩ පැත්තට ඉස්කෝලෙ ගිය අපේ මුතුන් මිත්තන් මේ ආරෝව දිගටම කන්ටිනිව් කරලා තිබ්බා.එයාල එහෙම කළ නිසා අපිත් කළා..නේද අනුරාධි?
චතුරිකාගෙ තාත්තා අපේ තාත්තාගේ හොඳ යාළුවෙක්, අපේ ගෙදරත් එනවා.අපේ රොෂාන්ති නංගි චතුරිකාගෙ කසින්.සමහර විට අපි නෑයොත් වෙනවාඅ ඇති ! මේ හැම දෙයක්ම හොඳින් දැන දැන චතුරිකාව වහ කදුරු ගානට හිතපු අතීතයක් ඒක.
කොකා ට අදහසක් තියනවද ගාල්ල පවර්සෙට් එකේ ළමයින්ට අම්බලන්ගොඩ පවර්සෙට් එකේ ළමයි පෙන්නන්න බැරි උනේ ඇයි කියලා??????????
ඉස්සර චතුරිකා වාඩිවෙන්නේ ටියුෂන් පංතියෙ ඉස්සරහම පේලියේ..අපි ගාල්ලෙ ගැන්සිය, ඊට මීටර් 20 ක් දුරින් බෆර් සෝන් එකක් තියලා වාඩි වෙන්නේ.ඒ කියන්නේ පංතියේ අන්තිම පේලියේ.
මේක තමා අපි අතර එදා තිබුනු පංති පරතරය.
මේක වෙනස් කලේ මාක් සකර්බර්ග්.
එයා මේ බුකිය ඇරියෙ නැත්නම්, අපි හැමදාම එකම ස්ටේෂමේ දෙපැත්තකට දුවයි.
ප.ලි. ට්‍රිලීෂියා ද මතක් කළ බව කියන්න.

අයියා

එකමත් එක රටක අයියා කෙනෙක් හිටියා.එයාට තිබුනා කළු පාට ලොකු හොන්ඩා බයික් එකක්.එයා එයාගෙ නංගිලා දෙන්නව ඒකෙ නග්ගගෙන ඇවිත් ගාල්ලෙ ටෙක්නිකල් කොලේජ් එකේ මැද ගේට්‍ටුව ඉස්සරහ, ෆෙරෝස් ගෙ ගෙදර ලඟින් බස්සනවා හැමදාම උදේට.ඒ අයියා නිතර හිනාවෙනවා.එතකොට වල ගැහෙන කම්මුල් එයාට තිබුනේ.මාව ඉස්කෝලෙ එක්කන් එන්න ඒ වගේ අයියා කෙනෙක් නොහිටීම ගැන මම නිතර දුක් වුනා.මම විතරක් නෙමේ,,ෆෙරෝස් ගෙ ගෙදර ඉස්සරහින් ඉස්කෝලෙ ගිය අය්යලා නැති හැම නංගිම දුක් වුනා.මටත් ඕනෑ වුනා ඒ වගේ අයියා කෙනෙක්.ඒ නිසා ඒ අයියාව මගේ හිතේ හරි තදට මතක හිටියා.
කාලයක් ගත වෙද්දි ඒ අයියා කැඩෙට් නිළධාරියෙක් විදියට යුධ හමුදාවට බැඳුනා.අපි නිතරම එයාගෙ නංගිල දෙන්න ගෙන් අයියගෙ විස්තර ඇහුවා.ඒ විස්තර වරෙක රසවත්.තවත් වරෙක බියජනක තවත් වරෙක ත්‍රාසජනක වුනා.ඊට පස්සෙ තමා අපි කවදාවත් අහන්න අකමැති විස්තරේ අහන්න ලැබුනේ.ඒ විස්තරය අහලා හෙටට අවුරුදු ගණනාවක් පිරෙනවා.ඒ වෙනුවෙන් වැකුණගොඩ ගෙදර පිංකමක් තියනවා කියලා අද පත්තරේ තිබ්බා.

(ශ්‍රීමාලිකා කුලවර්ධන, නදීකා කුලවර්ධන කියන නංගිලා දෙන්නා තමා එදා මේ අයියගෙ බයික් එකේ නැගලා ආවේ!)

"රු"



මම 4 "සී" එකේ ඉන්න කොට "රු' හිටියෙ 5 "බී".අපේ පංති දෙක එක ලඟ තිබ්බෙ.මම උදේම ඉස්කෝලෙ එනව.එයාගෙ පංතියෙ ළමයින්ගෙන් "දෙවැනියට" උදෙන්ම එන්නේ එයා.රුවනි කියල අක්කා කෙනෙක් තමා කවදත් කලින්ම ආවේ.
රු එහෙම උදේ පාන්දර ඉස්කෝලෙ ආපු දවසක,මමත් පාන්දරින්ම ඇවිල්ලා හිටපු දවසක,අපි දෙන්නා විතරක් පංතිවල හිටපු දවසක මම "රු" ගෙන් ඇහුවා, එයා "සිංහලද කියලා?'
එයා "නෑ" කිව්වා.
ඊට පස්සේ මම ඇහුවා එයාගෙ අම්මා "සිංහලද" කියලා.
එයා ඒත් "නෑ" කිව්වා.
මම නාසරත් ඩිබෙටින් ටීම් එකේ කැප්ටන් වෙද්දි එයා ක්වීන්ස් ඕන් කැප්ටන්.
බොහෝ වෙලාවට ෆයිනල්ස් ආවෙ අපේ ටීම්ස් දෙක.
මම නාසරත් General Knowledge quiz ටීම් එකේ කැප්ටන් වෙද්දි එයා ක්වීන්ස් ඕන් කැප්ටන්.
බොහෝ වෙලාවට ෆයිනල්ස් ආවෙ අපේ ටීම්ස් දෙක.
මම නාසරත් වයිස් කැප්ටන් වෙනකොට එයා ක්වීන්ස් ඕන් කැප්ටන්.
එයයි ජිෆ්‍රියා අබ්දුල්ලයි "ෆාස්ටින්" කරනකොට අපි හැමෝම "ෆාස්ටින්" කලා.
වෙසක් එකට අපි සිල් ගන්න කොට එයාල දානෙ පිළියෙල කලා.
මම දන්නා තරමට "රු" භක්කි ගීතත් කිව්වා.
කැන්ගරුවා පැටියා එල්ල ගෙන ඉන්නවා වගේ එයාගෙ ජීවිතෙන් භාගයක් එයා ගතකලේ "සයිඩ් ඩ්‍රම්" එක එල්ල ගෙන.ඒ සයිඩ් ඩ්‍රම් එකෙන් එයා වැඩිපුර "බැක්" කලේ දේශාභිමානී ගීත වලට.
මම දන්නා, සිංහලයන්ට වඩා සිංහල - බෞද්ධයන්ට වඩා බෞද්ධ කෙනෙක් හිටියා නම් ඒ... "රු".
ඉතිං "රු" ගේ මූණ බලන්න බැරි වෙන අන්දමේ කිසිම දෙයක් කවුරුත් මගේ "වෝල්" එකේ බලෙන් එල්ලන්න හදන්න එපා.
 
;