Wednesday, May 2, 2012

කෝච්චිය.


"චේන්ජ් වී නීඩ්" යැයි කියා මුලිම්ම දුම්රියේ ගමන් ගත්තේ මමත් චමනි දයානන්දත්ය. පසුව "චේන්ජ් වී නීඩ්" සමූහයට තව බොහෝ කෙල්ලන් හා කොල්ලන් එකතු විය. "වෙනසක්" අවශ්‍යව  තිබුණේ බාලාංශයේ සිට ස්කූල් වෑන් එකේ ආගිය උන්ටය. වයස පිටිපස්සෙන් "ටීන්" කියා කියවෙන්නට පටන් ගත දා සිටම මේ උවමනාව අපට තදින් දැනී තිබිණි. ඒ වෙනස අපට ලබා දුන්නේ පළමු වැනි වේදිකාවට දැන් පැමිණි දුම්රිය විසිනි.
පළමුවැනි වේදිකාවට ඒ දැන්  පැමිණි දුම්රිය අළුත්ගම බලා ධාවනය වූ මන්දගාමී එකකි.එය අළුත්ගම දක්වා වූ සෑම දුම්රිය ස්ථානයකම නැවැත්වූ අතර සිග්නල් නැතිවූ විට දුම්රිය ස්ථාන නැති තැන්වල පවා නැවැත්වීය.
ඔය දුම්රිය මට ඉස්කෝලයක් විය. ලිවීම කියැවීම හැර බොහෝ පාඩම් මම එහිදී ඉගෙන ගෙන ඇත්තෙමි.ජීවිතය යනු අපට උවමනා අයද, අපට නුවමනා අයද, අපිව උවමනා අයද, අපිව නුවමනා අයද යන  මේ සියල්ල සමඟ එකම දුම්රියේ යන ගමනක් බව මට තේරුම් යන්නේ මේ කොච්චියේදිය. ඒකට තිබුනේ කම්පාර්ට්මන්ට් තුනකි. අවහිරයකින් තොරව මැදිරියෙන් මැදිරියට මාරු වෙන්නට හැකි වුවද ඒ සියලු මැදිරි වල උන්නේ එකිනෙකට වෙනස් මිනිස්සුය.

කෝච්චිය වේදිකාවට එන තෙක් ලොව වැඩිම වේලාවක් කල් මරන්නට ඇත්තේ "අපි" යැයි සිතමු.එය තව තවත් ප්‍රමාදවීම අපේ අප්‍රමාණ ප්‍රීතියට කරුණක් විය.මිනිසුන් සදාකාලිකව කෝච්චි තුළ ජීවත් නොවන්නේ මන්ද? එය එසේ වූවා නම්, චමනි දයානන්ද ඩුබායි නොයනු ඇත.සකුරා කොතමලේ පැත්ත පළාතක් නොබලනු ඇත.දිනිති පතිරණ එකවුන්ටන්ට් ජොබ් නොසොයනු ඇත.ජීවනී සහ රුවනී ද ඒ කෝච්චියටම නගිනු ඇත.එය එසේ වූවා නම් රොෂාන්ති තවමත් මගේ පිටිපස්සෙන් වැටී හිඳීවි.කැමති වූවත් අකමැති වූවත් තිරුණි ලියනගේ ගෝමස් ද අපි සමග එක්වනු ඇති බව මම දනිමි.මිස් ආරියරත්න නැති කෝච්චියකින් වැඩක් නැත.ඒනිසා, කුමාරකන්දෙන් ඇයව වෙනම නග්ගා ගත යුතු වන අතර ඇය වෙනම කම්පාර්ට්මන්ට් එකකට යැවිය යුතුය.ඈ අප අසළ සිටීම ඇගේ සෞඛයට හිතකර නැත.

මේ දුම්රියට නග්ගා ගත යුතු වෙනත් අය කවුද? ඇලෝසියස් ගිය සියල්ලන්ම එහි නග්ගවා ගතයුතු මම යෝජනා කරමි.අනෙක් ඉස්කෝල වලින් කවුරු නැග්ගත් මට එකය.එය සියල්ලන්ටම එසේ නොවන බව මම දනිමි.
තුන්වන පංතියේ ටිකට් ගෙන දෙවන පංතියේ වාඩිවූ අපි,,දෙස බලා "ඔහොමම ඉන්න යැයි" කියූ "චෙකර් අංකල්ලා" කොයි තරම් හොඳ හදවතක් තිබූ අයද..අපි ඒ සියල්ලන්වම මෙහි නග්ගවාගත යුතුය.සුද්දන් සහ ඔවුන්ගේ බිරින්දෑවරුන්/පෙම්වතියන් දනොමැතිව මේ දුම්රිය ට කිසි ගතියක් නැත.එවන් ජෝඩු ආදරයෙන් ලංවී සිටිනා ආකාරය සහ ඔවුන්ගේ කතා බහට ඉතා ප්‍රවේශමෙන් ඇහුන්කම් දෙන චමනි සහ සකුරා මෙහිදී ආදරයෙන් සිහිපත් කරමු.
මට කෝච්චියේ දොරේ එල්ලෙන්නට ඕනෑ වුනු නිසා මා සමඟ එසේ කළ, මට ෆුට් බෝඩ් යන්නට ඕනෑවූ නිසා මා සමඟ එසේ ගිය,මට ආරක්ෂාව ඕනෑ වූ විට ඉදිරිපෙළ හා පසුපෙළින් මා ආරක්ෂා කළ සියල්ලන්ටම ස්තූතියි.ඔබ මෙතරම් නරක් වූයේ මා නිසාය.

No comments:

Post a Comment

 
;