Thursday, June 21, 2012

මිස් මාලිනී ප්‍රිය කළෙමි. සිඟින් අප්‍රිය කළෙමි.


මම මිස් මාලිනී ප්‍රිය කළ අතර සිඟින් අප්‍රිය කළෙමි.ඇත්ත වශයෙන්ම අප්‍රිය කළේ සිඟින් නොව පුරා පීරියඩ් තුනක් සිඟින් රූම් එක ඇතුළත හිටගෙන සිටීමය.එනිසා මම කිසිදාක සිඟින් වලට නොගියෙමි.6,7,8 වසර වල සියල්ලන්ට සිඟින් අනිවාර්ය විශයයක් වූ අතර එය සතියකට වරක් බටහිර සංගීත කාමරයේදී පවත්වන ලදී. කිසිවෙකුට සිඟින් පීරියඩ් තුන මඟ හැර යා නොහැකි වූ අතර එය මඟ හැර ගිය පළමුවැන්නා මම වීමි.සිඟින් පීරියඩ් තුන යෙදී තිබුණු බ්‍රහස්පතින්දා දිනයේ පන්තිය පිරිසිඳු කිරීමේ ලැයිස්තුවට නම ඇතුළු කර ගත් මම සිඟින් වලට නොයා පංතිකාමරයේම නවතින්නේ පංතිය පිරිසිඳු කිරීමටය.ටික දිනකින් සිඟින් වෙනුවට ක්ලීනින් ‍තෝරාගත් කණ්ඩායමක් අනෙක් පංතිවලද බිහිවූ අතර ජයංකා,ශිරානා,පියුමාලි වැනි බොහෝ දෙනෙක් ඊට එකතු වූහ.
සිඟින් වලට නොගිය මම හය වසර පංති කාමරයේ ලී පොළොව මත වැතිරී කතුරකින් ලී පොලොව මත ගුලක් සාදා එතුළින් පහළ බැලීම විනෝදාංශය කර ගත්තෙක්මි
හය වසර පංති කාමරයට පහලින් පිහිටා තිබුනේ සිඟින් රූම් එකය.සිඟින් වලට නොයන මම පංති කාමයේ බිම වැතිරී සිට මා විසින් සාදාගත් ගුලට ඇස තබා හයේ පංතියේ සගයන් සිංදු කියනු නරඹමි.ඇතැම් විට මගේ ලඟම මිතුරියක් පහළ සිටින්නේ නම් "සූ සූ" ශබ්දය නඟා ඇයගේ අවධානය මා වෙත යොමුකර ගනිමි.කල්ගතවන විට මේ ක්‍රීඩාව සඳහා කිහිපදෙනෙක් එකතු වූ අතර ලී පොලොව මත ගුල් කිහිපයක් තනා ගන්නට සිදුවිය.
සිඟින් වේලාව මඟ හරිමින් ක්ලීනින් කරන ළමයි පිළිබඳව මිස් මාලිනී හොඳ අවබෝධයකින් සිටියද තරප්පු පෙළ නැඟ හය වසර පංති කාමර පෙළට අවුත් හොරුන් අල්ලා දඬුවම් දීමට ඇය කිසිදා කටයුතු නොකළ බව කිවයුතුය.එකල්හි එය එසේ වූවානම් පාසලේ දණ්ඩනීති සංග්‍රහය යටතේ දැඩි දඬුවම් ලබා දී මා පාසලෙන් ඉවත් කිරීමට පවා කටයුතු කළ හැකිව තිබිණි.නමුත් මිස් මාලිනී කිසිදා ඒ තරප්පුපෙළ තරණය නොකළාය.
දැන් මම මිස් මාලිනී තරමටම සිඟින් ද ප්‍රිය කරමි.

6 comments:

  1. :D සිඟින් පීරියඩ්ස් තුනක් තිබුණනම් නොසෑහෙන්න අමාරු ඇති. අපිට තිබුණෙ එක දිගට පීරියඩ්ස් දෙකක් විතරයි. හිටන් ඉන්න එකනම් වාතයක්. "කලන්තෙ" දාන එක තමා අපිට තිබුණු විසඳුම.

    මිස් මාලිනී බලන් ගිහාම අගේ කළ යුතු ගුරුවරියක්නෙ. හැම කෙනෙක්ම හැම විෂයකටම ප්‍රිය නොකරන බව ඇය තේරුම් අරන් ඉඳලා.

    ReplyDelete
    Replies
    1. එතුමිය හරි පුදුම කෙනෙක්.අපිට පීරියඩ් තුනක් එක දිගට හිටගෙන ඉන්න බැරි උනාට එතුමිය මුළු පාසල් වෙලාවෙම හිටගෙන ඉන්නේ.

      Delete
  2. අපේ හරි පුදුම ඉස්කෝලේ තරම් නම් හරි පුදුම නෑ හැබැයි හරි පුදුම ලිවිල්ලක්... ලිපි සේරම කියවා අවසන්... :)

    ReplyDelete
    Replies
    1. බීටට කියවල අවසන් කොරන්න වෙන්නෙ නෑ.මම තව තව ලියනවා.

      Delete
  3. ඒකට මං ඔයාගෙ අනික් පැත්ත... මම මගෙ පාසැල් ජීවිතේ වැඩිම කාලයක් ගත කරල තියෙන්නෙ සංගීත කාමරවල!!
    ටික දවසකට කලින් එක හුසුමට ඔයාගෙ ලිපි සේරමටික කියවගෙන ගියා.
    ඔයා ලියන විදියට මං ආසයි!!

    ReplyDelete
    Replies
    1. මම සංගීතය අප්‍රිය කලා නෙමී.මට එක දිගට එක වැඩක ඉන්න බෑ කියලයි අපේ අම්ම කියන්නේ.

      Delete

 
;