Friday, August 31, 2012

නාසරත් නිවාසයේ දෑත් ශක්තිමත් කිරීමට "ක්වීන්ස් ඕන්" හි සිට පැමිණි මනූජි ධර්මවංශ




අපිට නිවාස ‍තෝරා දුන්නේ තුන්වැනි වසරේදීය.එදා සිට අද දක්වා නොකැළැල් හා නොබිඳුනු පාක්ෂික සම්බන්ධයකින් මම ඊට බැඳී සිටිමි.මා කැපුවත් "කොළ පාට" වන අතර දේශපාලනයේදී හැර අන් සියලු කාරියන්හිදී මම කොළ පාටට ප්‍රමුඛතාව දී ඇත්තෙමි.

මනූජි ධර්මවංශ මට ලෙන්ගතුවන්නේ මා හතර වැනි වසරේ සිටියදීය.එවකට නව හැවිරිදි වූ මා විසින් ගන්නා ලද අතිශයින් මතබේදාත්මක තීරණයකදී ඈ මට සහයෝගය පළ කළ අතර ඈ වෙනුවෙන් පෙරළා යමක් කිරීමට නොහැකිවීම ගැන මම අදටත් දුක්වෙමි.
1991 වසරේ සිඟිති ක්‍රීඩා උළෙල සඳහා නාසරත් නිවාසය වෙනුවෙන් ඉදිරිපත් කිරීමට හතර වසර "සී" පන්තියට සුදුස්සන් නොවීය.ඉන් වඩාත් කනගා‍ටුවට පත් වූවෙක් වී නම් ඒ මම ය.පංතියේ පසුපෙළක වාඩිවූ ඉන්නා මනූජි ධර්මවංශ මගේ ඇස ගැටෙන්නේ මේ අතරවාරයේදීය.


ඈ අඩි පහයි අඟල් දහයක් උස උත්තුංග දේහධාරී මනා බී එම් අයි අගයක් සහිත සිරුරකට හිමිකම් කී ශක්තිමත් ළමයෙක් වූවාය.තුන් වැනි පංතියේදී ඈ වැටී තිබුනේ ක්වීන්ස් ඕන් නිවාසයටය. ක්වීන්ස් ඕන් නිවාසයට "හයේ-හතරේ" දේහධාරීන්ගෙන් අඩුවක් නොවීය.එබැවින් පහසුවෙන් බිලී බා ගත හැකි යමෙක් වී නම් ඒ ඈ විය.ඈ නාසරත් නිවාසයට පැමිණිය හොත් තවත් දස වසරක ඇවෑමෙන් ඈට නිවාසයේ ක්‍රීඩා නායිකාව විය හැකි බව මා ඇයට පැවසීමි.ක්වීන්ස් ඕන් හි සිටීමෙන් කිසිදා එවැනි තනතුරක් ලැබීමට ඇයට හැකියාවක් නැති බව වැඩිදුරටත් පෙන්වා දුන්නෙමි.
ඒ අනුව ඇගේ පූර්ණ කැමැත්ත මත 1991 වසරේ හතර වසර "සී" පංතියේ නාසරත් නිවාසීය සිසුන්ගේ ලැයිස්තුව නිවාස නායිකාවට බාර දීමේදී මම ඇගේ නම ඒ ලැයිස්තුවේ පහලින් ලිව්වෙමි.
ඒ, පාසල් ඉතිහාසයේ සිදුවූ පළමු නිවාස මාරුවද යන්න මා දන්නේ නැත.එනමුත් මගේ පාසල් කාලය තුළ වූ "පළමු සහ එකම" අදේශපාලනික පිල් මාරුව එයයි.

ඉන් අනතුරුව ඉන් අනතුරුව ගෙවීගිය දස වසරක කාලය තුළ යගුලියෙන්ද,කවපෙත්තෙන්ද,දිවිල්ලෙන්ද,පැනිල්ලෙන්ද,නෙට්බෝලයෙන්ද,වොලිබෝලයෙන්ද,බාස්කට් බෝලයෙන්ද නාසරත් නිවාසය නියෝජනය කරමින් එය ජයග්‍රහනය කරා ‍රැගෙන යාමට ඈ කටයුතු කළාය.මුදලට පිල් මාරු කරන මෙවන් යුගයක මිත්‍රත්වය වෙනුවෙන් ඈ කළ මෙහෙය මට කිසිදා අමතක කළ නොහේ.එනමුදු එදා හතර වසර "සී" පංතියේදී පොරොන්දු වූ පරිදි ඈ නාසරත් නිවාසයේ කැබිනට් මණ්ඩලයට එකතු කිරීම මට නොහැකි විය.එය එසේ වූයේ ධූර කාලය අවසන් වීමට පෙර මම නිවාසය හැර ගිය බැවිනි.

Tuesday, August 28, 2012

ආජි තපර බීජි තපර බිස්කු බිස්කු ලාහිලා !


රමණි බර්තොලමියුස් ගැන මා දන්නේ නැත.ඈ භාග්‍යා ටෙලිනාට්‍යයේ රඟනු මා කිසිදා දැක නැත.මා දන්නේ තනූෂා ප්‍රසන්සනී පෙරේරා සහ එස් දිනූෂා නේරන්ජි එක්ව කළ "ආජි තපර ලාහිලා" ගැනය.

දිනුෂා නෙරංජි නැවතත් පාසල් වේදිකාවේ ! මේ , ආජී තපර නැටුමෙන් වසර විසිහයකට පසු එලඹි පහුගිය සතියේ ගන්නා ලද චායාරූපයකි. තවමත් ඈ ඩාන්සින් ක්වීන්මය.
ඒ 1988 වසරේ නොවැම්බර් මාසයයි.පොඩි ඉස්කෝලේ විවිධ ප්‍රසංගයයි.එහි තුන්වැනි නර්තන අංගය වූයේ "ආජි තපර ලාහිලා" ය.පුදුමය එය එසේ සිදුනොවුනා නම් ය.මේ ගීතය වාදනය නොවුනු විවිධ ප්‍රසංගයක්,කලා උළෙලක්,සංගීත සන්දර්ශනයක් එකල සොයාගන්නට අපහසු විය. ආජිතපරයත් ජාතික  ගීයත් අතර තිබ්බේ එක වෙනසකි . ජාතික ගීය සාමාන්‍යයෙන් වැයෙන්නේ දවසේ උදාවත් දවසේ නිමාවත් වෙනුවෙන් පමණි. නමුත් ආජිතපරය තුන් තිස් පැයේ නොකඩවා වැයුනේය. රූපවාහිනිය-ගුවන්විදුලිය -පාසල් වේදිකාව හා ගමේ සංගීත සැන්දෑව රස කළ මේ ගීතය තාමත් රමණි තරම්ම අමරණීය ය.
නමුත් මා කතා කරන්නේ ඒ ගීතය නොව මේ නැ‍ටුම ගැනය.

දිනුෂා නෙරංජි නැවතත් පාසල් වේදිකාවේ ! 

එය නැ‍ටුවේ තනූෂා ප්‍රසන්සනී පෙරේරා, චාමිනී වික්‍රමසිංහ, රෝශානි ගුණතිලක සහ එස් දිනූෂා නේරන්ජි එක්වය.
1988 සිට පුරා වසර හතරක් පාසලේ පල්ලියේ පුස්තකාලයේ තුබූ සෑම සියළු උත්සවයකදීම එක දිගට "ආජි තපර " නටන්නට ඉන් අනතුරුව මේ යුවලට සිදුවිය.ඒ නැ‍ටුම එතරම්ම චමත්කාර ජනකය.රතුපාට දික් සාය-සුදුපාට අත්දිග කමිසය - වටේට වැල් විහිදුනු විසේකාර පන්තොප්පිය දමා ගනිමින් නෙරංජි සහ ප්‍රසංසනී බඹර වළල්ලේ කැරකෙමින් නැටූ හැටි මට තාමත් මැවී පෙනේ.වරක් නැරඹූවෙකුට එය පහසුවෙන් අමතක කළ නොහැකිය.
ලිට්ල් ස්ටාර් හෝ ඩාන්සින් ස්ටාර් නොතිබි යුගයක සුපර් ස්ටාර් හෝ මෙගා ස්ටාර් ගැන නොදන්නා යුගයක රඟ දැක්වූ මේ නැ‍ටුම එවකට බෙන්තර ග‍ඟෙන් එපිට බිහිවූ ජනප්‍රියතම නැ‍ටුම  බව මම සිතමි.එය එදා බෙන්තර ගඟින් එපිටට ගෙන ගියේ නම්; මේ වන විට  නවතින්නේ එංගලන්තයේ තේම්ස් ගඟ හරියේය, නැතිනම් ඊටත් එපිටිනි.

Tuesday, August 14, 2012

ගීතාංජලී අබේගුණවර්ධන උසේන් බෝල්ට් ට වඩා වේගයෙන් දිව්වාය.




ගීතාංජලී නිරුක්ෂිකා අබේගුණවර්ධන කිසිදා පාසලේ ක්‍රීඩා නායිකාව වූයේ නැත.කුසලා අබේවර්ධන,මේනු පල්ලියගුරු,සඳමාලි අබේවර්ධන ලා අතර ඈ කැපී පෙනෙන නමක් නොවීය.ජවන හා පිටිය ඉසව් හැර පංතිය තුළ කරන ක්‍රීඩාවන්ට එදා තැනක් ලැබුණි නම්;ඈ අද ජාතික ශූරියෙකි.අඩුම තරමේ ආසියානු මට්ටම කරා ලඟා කරවිය හැකිව තිබූ ක්‍රීඩිකාවකි.ඇගේ හැකියාවන් එදා නිසි ඇගයීමකට බඳුන් නොවූ බැවින් කන්දෙවත්තේ පිපුණු මල තවමත් කන්දෙවත්තේමය.
ඈ "ගැහැනු,පිරිමි-මල්,පළතුරු" ක්‍රීඩාවේ පාසල් ශූරිය වූවාය.එකල ඇගේ තරඟ අවසන් කිරීමේ කාලය තත්පර 9.57 කි.එය මීටර් සියය ඉසව්වේ උසේන් බෝල්ට් ගේ ලෝක වාර්තාව අබිබවයි.බෝල්ට්ගේ දිවිල්ල දෙපයිනි.ගීතාංජලී දිව්වේ මොළයෙනි.ගැහැණු පිරිමි මල් පළතුරු ක්‍රීඩාවට පළමු වරට "තෙවැනි විනිසුරුවරයෙකු" හඳුන්වා දුන්නේ ඇයය.ඒ 1993 දීය.ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පවා තෙවැනි විනිසුරුවරයෙකු ලැබෙන්නේ ඉන් පසුවය.මේ ක්‍රීඩාවේ සියළු නීතිරීති ඈ විසින් දිනපතා අළුත් කළ අතර ඇතැම් අවස්ථාවන්හිදී නව එකතු කිරීමද සිදුවිය."ගැහැනු,පිරිමි-මල්,පළතුරු,සත්තු,ගම්" වලට අමතරව "කඩ" කියා අළුත් පරිච්ඡේදයක් ඊට එක් කිරීමට වරක් ඇය කටයුතු කලාය.මේ "කඩ" ගාලු නගරය තුළ ස්ථානගතවී පැවතීම අනිවාර්ය විය.ඇතැම් අවස්ථාවන්හිදී අපේ ගමේ කඩයක නම සඳහන් කළ විට ඊට ලකුණු ලබා නොදීමට ඇය කටයුතු කරන ලදී.කෙසේ නමුත් "ගැහැනු,පිරිමි-මල්,පළතුරු" ක්‍රීඩාවට එදා නිසි තැන ලැබුනේ නම්; උසේන් පි‍ටුපසින් යොහාන් දිව්වා සේ ඇගේ පසුපසින් දුවන්නේ නදීෂා චන්ද්‍රසේනය.
 
;