Tuesday, August 14, 2012

ගීතාංජලී අබේගුණවර්ධන උසේන් බෝල්ට් ට වඩා වේගයෙන් දිව්වාය.




ගීතාංජලී නිරුක්ෂිකා අබේගුණවර්ධන කිසිදා පාසලේ ක්‍රීඩා නායිකාව වූයේ නැත.කුසලා අබේවර්ධන,මේනු පල්ලියගුරු,සඳමාලි අබේවර්ධන ලා අතර ඈ කැපී පෙනෙන නමක් නොවීය.ජවන හා පිටිය ඉසව් හැර පංතිය තුළ කරන ක්‍රීඩාවන්ට එදා තැනක් ලැබුණි නම්;ඈ අද ජාතික ශූරියෙකි.අඩුම තරමේ ආසියානු මට්ටම කරා ලඟා කරවිය හැකිව තිබූ ක්‍රීඩිකාවකි.ඇගේ හැකියාවන් එදා නිසි ඇගයීමකට බඳුන් නොවූ බැවින් කන්දෙවත්තේ පිපුණු මල තවමත් කන්දෙවත්තේමය.
ඈ "ගැහැනු,පිරිමි-මල්,පළතුරු" ක්‍රීඩාවේ පාසල් ශූරිය වූවාය.එකල ඇගේ තරඟ අවසන් කිරීමේ කාලය තත්පර 9.57 කි.එය මීටර් සියය ඉසව්වේ උසේන් බෝල්ට් ගේ ලෝක වාර්තාව අබිබවයි.බෝල්ට්ගේ දිවිල්ල දෙපයිනි.ගීතාංජලී දිව්වේ මොළයෙනි.ගැහැණු පිරිමි මල් පළතුරු ක්‍රීඩාවට පළමු වරට "තෙවැනි විනිසුරුවරයෙකු" හඳුන්වා දුන්නේ ඇයය.ඒ 1993 දීය.ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පවා තෙවැනි විනිසුරුවරයෙකු ලැබෙන්නේ ඉන් පසුවය.මේ ක්‍රීඩාවේ සියළු නීතිරීති ඈ විසින් දිනපතා අළුත් කළ අතර ඇතැම් අවස්ථාවන්හිදී නව එකතු කිරීමද සිදුවිය."ගැහැනු,පිරිමි-මල්,පළතුරු,සත්තු,ගම්" වලට අමතරව "කඩ" කියා අළුත් පරිච්ඡේදයක් ඊට එක් කිරීමට වරක් ඇය කටයුතු කලාය.මේ "කඩ" ගාලු නගරය තුළ ස්ථානගතවී පැවතීම අනිවාර්ය විය.ඇතැම් අවස්ථාවන්හිදී අපේ ගමේ කඩයක නම සඳහන් කළ විට ඊට ලකුණු ලබා නොදීමට ඇය කටයුතු කරන ලදී.කෙසේ නමුත් "ගැහැනු,පිරිමි-මල්,පළතුරු" ක්‍රීඩාවට එදා නිසි තැන ලැබුනේ නම්; උසේන් පි‍ටුපසින් යොහාන් දිව්වා සේ ඇගේ පසුපසින් දුවන්නේ නදීෂා චන්ද්‍රසේනය.

2 comments:

  1. අනේ ඇත්තමයි. මේ බ්ලොග් එක දැකලා දැන් කාලයක් වෙනවා. අද අහම්බෙන් ආයෙම ඇවිත් වැටුනා. සේරම කියවාගෙන යන ගමන්! හරි ම අගේ ඇති ලියැවිලා.

    අපි ඒ කාලේ ලිව්වේ ගෑණු පිරිමි මල් පලතුරු සත්තු ගම් බඩු චිත්‍රපටි පත්තර සිංදු.......... ඔය වගේ දිග හෑල්ලක් තිබුනා.

    ReplyDelete
  2. "බඩු" කියන්නෙ මොනවද? Out of joke :P

    ReplyDelete

 
;