Thursday, October 4, 2012

අධ්‍යාපන ඇමති පු‍ටුවෙන් නැගිටවූ රවිනි කළුපහන

ඒ ඓතිහාසික අවස්ථාව
ආචාර්ය රිචර්ඩ් පතිරණ මහතා ක්‍රියාකාරී දේශපාලනයේ යෙදී සිටියදී ඔහු පු‍ටුවෙන් නැගි‍ටුවා ලීමට බොහෝ දෙනෙක් උත්සාහ කළහ.නමුත් එය උත්සාහයන්ට පමණක් සීමා විය.1994 දී රවිනි කළුපහන විසින් අධ්‍යාපන ඇමතිවරයා පු‍ටුවෙන් නැගි‍ටුවන ලදී.ඒ ඔහු දේශපාලනමය වශයෙන් ඉතා දැඩි ස්ථාවරත්වයක් ගොඩනගා ගෙන සිටි වකවානුවකදීය.

එවකට ඈ පාසලේ බටහිර තූර්යවාදන කණ්ඩායමේ නායිකාව වූවාය.ක්ලැරිනට් නමින් සංගීත භාන්ඩයක් ලොව ඇති බව පළමු වරට මා දැන ගත්තේ ඇයගෙනි.චර්චිල් ගේ මුව මත සුරුට්‍ටුව වූයේ යම් සේද ඇගේ මුව මත නිතර රඳී තිබුනේ ක්ලැරිනටයකි.

කිසිදු ක්‍රීඩා ඉසව්වකට සහභාගීත්වය නොදැක්වූ ඈ විසින් ක්‍රීඩා පිටියේ තබන ලද වාර්තාවක් අදටත් නොබිඳී පවතී.ඒ තූර්ය වාදන සංදර්ශනයකදී වැඩිම උසකට  MACE එක උඩ දැමීමෙනි.ඒ ඉසව්වෙන් ඈ අබිබැවූ කෙනෙකු ගැන එතෙක් මෙතෙක් වාර්තා වී නැත.ඕසෝන් වියන සිදුරු වූයේ රවිනි කළුපහන විසින් උඩදැමූ  MACE එක වැදීමෙන් වග එවක මා සිතාසිටියෙමි.

MACE
ඒ ශ්‍රී ලංකාවේ 46 වැනි නිදහස් දින උත්සවයයි.දකුණු පළාත් රාජ්‍ය උත්සවය ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී පැවැත්වූ දිනයයි.පාසල් තූර්යවාදන කණ්ඩායම් විස්සක් ක්‍රීඩා පිටිය මත තූර්ය වාදන සංදර්ශනයේ නියැලි අවස්ථාවයි .ප්‍රධාන අමුත්තා පසු කරමින් රවිනි කළුපහන ඇතුළු කණ්ඩායම ඉදිරියට ඇදුනු මොහොතයි.

ප්‍රධාන පීඨිකාව පසුකර පියවර කිහිපයක් යත්ම රවිනි කළුපහන සිය අතෙහි ‍රැඳි MACE එක ඉහලට දැමීය.එය ඉහළට නැං‍ඟේ අහස්කූරක් මෙනි.එවන් වික්‍රමයක් කිසිදා බලාපොරොත්තු නොවූ ආචාර්ය රිචඩ් පතිරණ හුනස්නෙන් නැඟී සිටියේ  MACE එක කොහේ නැවතුනිදැයි බැලීමටය.අධ්‍යාපන ඇමතිවරයා අසුනෙන් නැඟී සිටිනු දු‍ටු පළාත් මහ ඇමතිවරයාද අසුනෙන් නැංගේය.ඇමතිවරයාත් මහ ඇමතිවරයාත් අසුන් වලින් නැඟී සිටිනු දු‍ටු වහා කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුද විදුහල්පති වරුද ගුරුවරුද සිය අසුන් වලින් නැඟී සිටියහ.

සිය දේශපාලන ම‍ඟෙහි සදා අපරාජිත ව උන් ආචාර්ය රිචර්ඩ් පතිරණ අනපේක්ෂිත ලෙස සිය අසුනෙන් නැඟිටවූ කතාව මින් නිමි ය.අසුනෙන් නැගී සිටියා මිස අසුන අහිමි කර ගැනීමට ඔහු කිසිදා  කටයුතු නොකළේය.



ප.ලි: රවිනි කළුපහන කියන්නේ MACE ඩ්‍රිල් සරඹයන්හි  අති දක්ෂයෙක්.ඇගේ අතින් කවදාකම වත් MACE එක බිම වැටිල නැහැ.ඈ තරම් එහි නිපුනත්වයට පත් කෙනෙක් මගේ ජීවිතයේදී තවත් දැක්කෙ නැහැ.කොටින්ම කියනවා නම් යුධ හමුදා හෝ නාවික හමුදා තූර්ය වාදන කණ්ඩායම් වල නායකයන්ටවත් ඈ එක්ක හැරෙන්න බැහැ.මම තවමත් ආදරයෙන් මතක් කරනවා ඈ තූර්යවාදන සංදර්ශන වලදී MACE එක උඩ දමන අවස්ථාවන්.ඒවා හරිම වික්‍රමාන්විතයි.ඇගේ තූර්යවාදන සරඹ ගුරුවරයා වූ චන්දන සර් වත් ඒ තරම් උසකට MACE එක උඩ දමනු මම කිසිදාක දැක නැහැ.



 
;