Wednesday, September 25, 2013

"ඩච් ඩාන්ස්" එකට නොතේරුණු එක ළමයෙක් සිටියේය.

ඩච් ඩාන්ස් එක නැ‍ටුවේ ශ්‍රී ලංකාවේ හතළිස් නවවැනි නිදහස් සමරුව වෙනුවෙනි.එවක මම දහතුන් හැවිරිදි වීමි.හත වසරේ ළමයින්ට  "ඉංග්‍රිසි නැ‍ටුම" ද, අට වසරේ අපට "ඩච් ඩාන්ස්" එකද, නවය වසරට "පෝචුගීස් ඩාන්ස්" එකද උගන්වා ළමුන් හාරසියයක් නිදහස් උත්සවයේ විවිධ ප්‍රසංගයට සහභාගී කරවන ලෙස පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අපේ පාසලට නියෝග ලැබී තිබිණි.

ඩච් ඩාන්ස් එක හරි අපූරු නැ‍ටුමකි.එය කෙල්ලන්-කොල්ලන් එක්ව හතර අතට නැමී-කැරකි කැරකී නටන නැ‍ටුමකි.තත්පර පහකට වරක් පාදය වැරෙන් බිම ගසන්නට උවමනා අතර තත්පර අටකට වරක් දෑත් ඉහළට ඔසවා අත්පොළසන් දිය යුතුය.වරෙක ශරීරය පෙට්ටියක් මෙන් තබා ගෙන චලනය කළ යුතුය.තවත් වරෙක බඹරයක් සේ කැරකී භ්‍රමණය විය යුතුය. මා තරම් ඊට පෙම්බැඳි වෙනත් අයෙක් ලොව නොවූයේ යැයි සිතමි.ඇතැම්විට ලන්දේසීන්ට ද එම නැ‍ටුම මළ කරදරයක් වන්නට ඇත. ඒත්, මම පාසලේදීද, පාසලෙන් පසු නිවසේදීද, ඉරිදා- සෙනසුරාදා දිනවල මාමලා සහ බාප්පලාගේ ගෙවල්වලදීද ඩච් ඩාන්ස් එක පුරුදු උනෙමි.
ඩාන්ස් එක පමණක් නොව එහි කොස්ටියුම් එකද හරි අපූරුය.කළු පාට 

ස්කාෆ් එක , අත්දිග සුදු කමිසය, රතු පාට දිග සාය,සුදු පැහැ කම්බර් බෑන්ඩ් එක සහ දුඹුරු ලී සපත්තු කූට්ටම අදද මට මතකය.ඒ ඇඳුමට මම තවමත් ආසා කරමි. දෙවියන් විසින් මට වරයක් පිරිනමන්නේ නම්; මා ඉල්ලා සිටින්නේ ඩච් ඩාන්ස් කොස්ටියුම් එක හැඳ ඩච් ඩාන්ස් එකට සහභාගී වීමට තව අවස්ථාවක් සලසන ලෙසිනි.
ඩච් ඩාන්ස් එකට ළමුන් 120 ක් සහභාගී කළ යුතු විය. නමුත් එවක අට වසර ශිෂ්‍ය සංඛ්‍යාව 121 කි.අන්තිමේදී තීරණය වූයේ 121 දෙනාම පිට්ටනියේ නටවා "නුසුදුස්සා" ‍තෝරාගැනීමය.
එය රියැලිටි තරඟයක් අනෙක් පැත්ත ගැසුවාක් මෙන් විය.
ඕනෑම තරඟයක අවසානයේ ‍තෝරාගනු ලබන්නේ "ජයග්‍රාහකයා"ය. නමුත් මෙය, නුසුදුස්සා ‍තෝරා ඉවත් කිරීමේ නැ‍ටුමකි.
නටන්නට පුළුවන් ළමයි ‍තෝරා පැත්තකට කළේ මිස් ඇන්ටනට් විසිනි.මුලින්ම තනූෂා ප්‍රසන්සනී පෙරේරා, එස් දිනූෂා නේරංජි,ක්‍රිස්ටීන්,ටානියා,ගීතාංජලී,..වැනි අති දක්ෂයන් තරඟයකින් තොරවම ඉදිරියට ගියහ. නීනා, මනූජි,උස පූර්ණිමා,මේනු නිසංසලා,අනුරාධි..වැන්නවුන් ‍තෝරා ගැනුනේ ශරීරයේ බී එම් අයි ඉන්ඩෙක්ස් එක සළකා බැලීමෙනි.
චාතූර්යා ජයවික්‍රම සහ තමීමා ෂරීන් අවසාන පස්දෙනා අතරට වැ‍ටුනද අවසානයේ ඔවුහු ජයග්‍රාහී ගොඩට ඇතුළත් වූහ.අන්තිමේදී ඩච් ඩාන්ස් එකට නුසුදුසු එකම ළමයා ‍තෝරාගැණින. එය අදාල ළමයාට දැනුම් දෙන ලද්දේ මිස් ඇන්ටනට් විසින් ඈ ටි‍ෆින් රූම් එක ළඟට කැඳවා ඉතාමත් මෘදු හඬකින් කනට කොඳුරාලීමෙනි.
"පුතා, ඔයාට තමයි අයින් වෙන්න වෙන්නේ!!!"
කෙසේ නමුත් අමාත්‍යාංශ නියෝගයක් මත ඩච් ඩාන්ස් එකට ‍තෝරා ගන්නා පිරිස 100 දක්වා අඩුකිරීමට පසුදින තීරණය කෙරිණි. ඒ නිසා තවත් 20 දෙනෙක් ඩච් ඩාන්ස් එකෙන් කපා හැරිණි.
ඒ උනාට මූලික ඩච් ඩාන්ස් එකෙන් මුලින්ම කැපුනේ එකම එක ළමයෙකි.
තව පොඩ්ඩෙන් මට එයාගේ නම කියන්නට අමතක වෙනවාය.
ඒ නදීෂා චන්ද්‍රසේනය.

12 comments:

  1. මට නං හරිම කණගාටුයි ඒ පුංචි ළමයා ගැන......... පුංචි හිතක් තේරුම් ගන්න ඇයි අවුරුදු 20කට කලින් විතර ඒ වයසේ හිටි වැඩිහිටියන්ට අමතක වෙන්නේ....... :(

    ReplyDelete
    Replies
    1. අධ්‍යාපන අමාත්‍යාංශෙන් 120 යි එවන්න කියල තිබ්බේ. ඊට පස්සෙන්ද තව 20 ක් අයින් කළා. හැබැයි නැ‍ටුම තියන දවසේ කෙල්ලො කිට් ගහන් ඉන්නව දැක්කම මට වාවන්නැති උනා.
      ඇත්තටම මට නැ‍ටුම් බෑ.

      Delete
  2. කියවගෙන යත්දි පාසැල් කාලය මතක් වෙනවා.සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි, එකෙම්ම.

      Delete
  3. ෂෙහ්.. මං හිතුවා උඹ දැනුයි එහොම වෙලා තියෙනනේ කියලා.. බැලින්නං ඒ කාලේ ඉදලම “අගින් ස්ටාර්“.. :D

    ReplyDelete
    Replies
    1. මාරයා, මට කවදත් හෙන උනන්දුවක් තිබ්බා. ඒත් අත දෙන්න කෙනෙක් හිටියෙ නෑ. අපේ අම්මා ඔය ඉස්කෝලෙ උගන්නලත් මාව ඔය නැ‍ටුමට පංගාර්තු කරන්න එතුමියටවත් උවමනාව තිබ්බෙ නෑ.

      Delete
  4. මට මතක් වුනේ ආජි තපර ලාහිලා.

    මම මීට කලින් ඇවිල්ලා නෑ මේ බ්ලොග් එකට. නදීෂා යුනිෆෝම් එකක් ඇඳගෙන ඉන්නවා පේනවා, ඒ වගේම ටවුන් ප්ලෑනර් කියලා තියෙනවා. මොකක්ද සම්බන්ධය?

    ReplyDelete
    Replies
    1. http://haripudhumaiskole.blogspot.com/2012/08/blog-post_28.html
      ආජි තපර ගැනත් මම එකක් ලියල තියෙනවා.

      Delete
  5. මමත් ඉස්සර ‍ොඩිකාලේ ඉස්කෝලේ කාවඩි කංඩායමකට ඇතුලත්වෙලා නටන්ඩ පුරුදු උනා අන්තිමට වැඩේ තිබ්බ දවසේ වැඩේට ආවේ මං විතරයි . නැටුව ඉතින් තනියම

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ කාවාඩි කතාවෙන් පස්සෙ මටත් මතක් වුනා මගේ කාවාඩි කතාව.
      ඒකත් ලියන්නම්!

      Delete
  6. හරිම අමානුෂිකයි . එකසිය විස්සකින් එක ළමයෙක් අයින් කරන එක.
    මටත් නටන්න බැහැනේ. හයේදී නැටුම් තෝරාගෙන අවුරුද්දක් ඉවර වෙද්දීත් දැනන් හිටියේ තෙය්යත් තෙය්යත් තෙය්යත් තාම් විතරයි. තාම නැටුම් ටිච්ට පින් දෙනවා ඉගැන්නුවේ නැති එකට. නැත්තන් පින්සලක් අල්ලන්න ඉගෙන ගන්නේ නැති වෙයි. අන්තිමට නටපු නැටුමකුත් නැහැ.
    ඩච් ඩාන්ස් නම් ඔය දැනුත් කරන්න බැරිය. දැන් යු ටියුබ් එකෙන් ඕනඕන නැටුමක් නටුවහැකි..අපේ ප්‍රශ්නේ පොළව

    ReplyDelete
  7. මේ හා සමාන වගේ දෙයක් මමත් ලිව්වා. මෙතනින් කියවන්න

    ReplyDelete

 
;