Sunday, October 13, 2013

" මතට තිත! " චාරුකා කුඩාහෙට්ටිගේ සංකල්පයක් විය.

ගාලු කොල්ලෝ මතට ලොල්ලෝ ය. ලො‍රැන්සෝද අල්මේදා ගාලු කො‍ටුවට ගොඩබැස්ස දා සිට බොන්න පටන් ගත් බීම නතර කරවා දැමීමට අම්මලා ද තාත්තලාද, ගමේ පන්සලේ හාමුදුරුවන් ද, ඉස්කෝලේ ලොකු මහත්තයා ද, බාලිකා පාසලේ ප්‍රේමවන්තිය ද, වෛද්‍ය හරිශ්චන්ද්‍ර ද කාලාන්තරයක් පුරා උත්සාහකරමින් සිටියහ. නමුත් කොල්ලෝ බිව්වෝය. අන්තිමේදී සියල්ලෝ උන්ව අතහැර දැම්මෝය. චාරුකා කුඩාහෙට්ටි හැර අන් සියල්ලෝම උන්ව අතහැර දැම්මෝය.

චාරුකා කුඩාහෙට්ටි මෙන්න මෙවන් කෙනෙකි. ඈ සුදුම සුදුය. කෙට්‍ටුය. උසය. ඇගේ කොණ්ඩය නයිජීරියාවේ "මුරු" ගේ වැනිය. එය බෙල්ලෙන් පහළට දික්ව තිබෙනු මා කවදාවත් දැක නැත. ඈ විසින්  "නොකළ" බාහිර වැඩ මතක් කරගන්නට මට දින දෙකක් ගතවිය. ඈ ශිෂ්‍ය නායිකාවක්ද? ඔව්, ඈ මගේ නිවාස නායිකාව විය. ඈ ගයිඩින් හෝ යූත් එවෝඩ්ස් කළාද? ඔව්, ඈ ජනාධිපති බාලදක්ෂිකාවකි. මෙහෙම මතක් කරන විට මට මතක් වූයේ ඈ විදුහලේ ප්‍රථමාධාර කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක් ද වූ බවය. මොනවා කළත් ක්‍රීඩා නම් නොකරන්නට ඇතිය කියා සිතනවාත් සමඟ ඈ දුර පැනීමේ ඉසව්වට නාසරත් නිවාසය නියෝජනය කළ අයුරු මට මතක් වන්නට විය.  ඈ සිංදු කියූ බවත් නාට්‍ය කළ බවත් චිත්‍ර ඇන්ද බවත් මම ඔබට පවසමි. ඇත්තෙන්ම ඈ පාසල තුළ නොකළ දෙයක් නැත.

එකල චාරුකා කුඩාහෙට්ටි පාසලේ අමධ්‍යප සංගමයේ සභාපතිනිය විය. ඒ 1994-95 වකවානුවේදීය. එය ඉතා නරක කාලයකි. ගාලු කො‍ටුව, දුම්රිය පොළ සහ බස්නැවතුම කොල්ලන්ගෙන් පිරී තිබුනු කාලයකි. මත්වූ කොල්ලන්ගෙන් පිරී තිබුනු කාලයකි. සමහරු ප්‍රේමයෙන් මත්වී සිටියහ. තවත් සමහරු ශෝකයෙන් මත්වී සිටියහ. ඇතැම්හු හුදෙකලාවෙන් මත්වී සිටියහ. මේ සියල්ලෝම දුමින් සහ මතින් මත් වී සිටියහ.
චාරුකා කුඩාහෙට්ටි මතට තිත තැබීම අරඹන්නේ ගාල්ලේ ප්‍රධාන බාලක පාසල් හතරක් සමඟ එක්වීමෙනි. ඒ පාසල්වල අමධ්‍යප සංගම් හතරේ සභාපතිවරුන් සමඟ සාමූහිකව වැඩ කිරීමට පොදු එකඟ තාවයක් ඇරඹීමෙනි. ඇලෝසියස් එකේ උස ගයාන් අයියාද රිච්මන්ඩ් එකේ කොට ගයාන් අයියාද විද්‍යාලෝකේ සිසිර අයියාද අපේ පාසලට යන්න එන්න පටන් ගන්නේ මේ එකඟතා ගිවිසුමට අනුවය. ඔවුහු වැඩමුළු තැබූහ, ප්‍රදර්ශන සංවිධානය කළහ, පා ගමන් ගියහ, තරඟ පැවැත්වූහ. එවකට පාසලේ හත වසර පංතියේ සිටි මම  ඔවුන් නිසා ඉගෙන ගත් වචන තුනක් තිබේ. පළමු වැන්න "ADIC" ය. දෙවැන්න "නාකොටික්" ය. තුන්වැන්න "ස්ලානා" ය.
වසර තිහක ජීවිතකාලය තුළ මා දු‍ටු ශක්තිමත්ම සංධාන ගතවීම මෙය විය. ඔවුන් පෙනීසිටියේ නිළය සහ බලය වෙනුවෙන් නොවේ, පොදුජන යහපත වෙනුවෙනි.

වරක් ලෝක අමධ්‍යප දිනය වෙනුවෙන් සකසන ලද පුවරුවක් ප්‍රදර්ශනය කිරීම සඳහා  නගරය තුළ ඉඩක් ලබා ගැනීමට ඈට ගාලු පොලිස් අධිකාරී කාර්යාලය වෙත නිරන්තර පාගමනක යෙදීමට සිදුවිය. අන්තිමේදී පොලිස් බැ‍රැක්ක පි‍ටුපසින් ප්‍රධාන පාරට මුහුණලා පිහිටි පුංචි ඉඩක් ඈ වෙනුවෙන් වෙන්කිරීමට පොලිස් අධිකාරී තුමා කරුණාවන්ත විය. එසේ ඉඩ ලබා දුන්නේ ඇගේ නිහඬ ඉල්ලීම දෝංකාර දෙන්නට පටන් ගත් නිසාවෙන් බව පොලිස් අධිකාරීතුමා පසුව සිස්ටර් රොසිනා වෙත ලියා යැවීය.
ඒ සිදුවීමෙන් වසර දහයකට පසුවත් ගාලු  පොලිස් බැ‍රැක්ක පෙළට පි‍ටුපස කෙසෙල් පදූරු ගාල ලඟ ඇගේ අමධ්‍යප පුවරුව නිරුපද්‍රිතව තිබිණි. ඒ 2005 අවුරුද්දය, මහින්ද චින්තන ප්‍රතිපත්තිය "මතට තිත" හඳුන්වා දුන් අවුරුද්දය.

Thursday, October 3, 2013

මනෝහාරී ‍රැගෙන ආ සෙව්වන්දි බස්නායක

මනෝහාරී ‍රැගෙන ආවේ සමන් ආතාවුදහෙට්ටිය.ඒ, සෑම සිකුරාදාම රාත්‍රී හතට ජාතික රූපවාහිනියෙනි.සෙව්වන්දි බස්නායක මනෝහාරී අරන් ආවේ අනූපහ අවුරුද්දේ අප්‍රේල් මාසයේ දවසක කට්ට අව්වේ පහළ පිට්ටනියේ සිටියදීය.
පාසලේ සිංහල - හින්දු අළුත් අවුරුදු උත්සවයේ අවසන් අංගය විකට ඇඳුම් තරඟයකි. දොස්තරද,කොන්දොස්තරද,බස් ඩ්‍රැයිවර්ද,කෝච්චි ගාඩ් ද, මහල්ලන්,දෙමහල්ලන් යන චරිත ඉමිටේට් කරමින් රඟන සාම්ප්‍රදායික විකට රංගනයකට "මනෝහාරී සංගීත වැඩසටහන" ‍රැගෙන ආවේ සෙව්වන්දි බස්නායක විසිනි.එය පාසලේ විකට ඇඳුම් තරඟ ඉතිහාසය වෙනස් කළේය.
"මනෝහාරී" එවකට ලංකාවේ වැඩි දෙනෙක් නැරඹූ ජනප්‍රියතම රූපවාහිනී වැඩසටහන විය. එය එතරම්ම ජනප්‍රිය වූයේ සමන් අයියාගේ කතාව නිසාමය. සෙව්වන්දී බස්නායක විසින් විකට ඇඳුම් තරඟයට චිත්‍රණය කළේ ඒ අරුත්බර කතාවත් මනහර ලතාවත්ය.


සෙව්වන්දී බස්නායක ඇතුළු දාසය දෙනෙකුගේ කණ්ඩායමක් තරඟය අවසන් වෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී පහළ පිට්ටනියට ප්‍රාදූර්භූත විය. ඒ ප්‍රාදූර්භූතවීම දෙවැනි වන්නේ මයිකල් ජැක්සන් තම ඒක පුද්ගල ප්‍රසංගයකදී පාවෙන පීරිසියක් මතින් විත් වේදිකාවට ගොඩවීමේ සිද්ධියට පමණය.
ඈ හැඳ සිටියේ සමන් ආතාවුදහෙට්ටි අඳින ඇඳුමමය. එය ලා කහ පැහැතිය. කපටි සූට් එකකට වඩා කපටි කමින් අඩු අතර ජාතික ඇඳුමට වඩා කපටි කමින් වැඩි එකකි.එහි කමිසය මත රේන්දයෙන් ගෙතූ මල් වැලක් විය. ඈ එය කොහෙන් සොයාගත්තාදැයි අපි නොදත්තෙමු.
ඇගේ කැරළි කොණ්ඩය පි‍ටුපසට කර පෝනි ටේල් එකක් දමා තිබිණි.සමන් අයියා කොණ්ඩය දැමුවේද ඒ අකාරයෙනි. ඇගේ මුහුණට නිතර දාඩිය දැමී හේතුවෙන් කට වටා අලවා තිබූ ‍රැවුල කිහිප වරක් නැවත සකසා ගන්නට ඇයට සිදුවිය.
අනතුරුව මයික්‍රොෆෝනය අතට ගෙන පිට්ටනිය වටා ඇවිදිමින් ඈ මෙසේ කියන්නට පටන් ගත්තාය.
"අද මම ඉන්නේ ගාල්ලේ ශ්‍රී හර්දය කන්‍යාරාම බාලිකා මහා විද්‍යාලයේ. නංගිලා පිරිසක් මට ආරාධනාවක් කර තිබෙනවා, ලියුමකින්..මං ඒක කියවන්නද?"
"දයාබර සමන් අයියේ! ඔබේ හඬ මිහිරියි, වචන ඉමිහිරියි..............අද වැඩසටහන ප්‍රේමයටම වෙන් කරන්න."
ප්‍රේමයටම වෙන්කළ වැඩසටහනේ එදා ගායනා කෙරුණේ ප්‍රේමාන්විත යුග ගීතයන් හි කෝරස් එක පමණකි. ගායක-ගායිකාවෝ පැමිනියේ යුගල් වශයෙනි.ඇත්තටම එතැනදී පැරණි ගීත නවීන පන්නයෙන් ගායනා කෙරුණු අතර නවීන ගීත පරණ මොඩලයට ගායනා කෙරිණ. ඒ  ඉරාජ් වීරරත්න, අශාන්ති හෝ චිත්තී ගායනයට පිවිසීමට සිහිනෙකිනුඳු නොසිතූ වකවානුවකය.
කිසානි අබේවර්ධන,ෆසානා අත්තාස්,කලානි විජේවර්ධන, ඉමේෂිකා ද සිල්වා මනහර ලෙස රඟමින් යුග ගීත ගායනා කළහ. නම නොදන්නා තවත් පිරිසක් ඒ අතර උන්නු බව කිවමනාය.
හිප්-හොප් ලංකාවට ගෙනාවේ අශාන්ති කියා සිතන්නන්ට මම් කාරණයක් මතක් කරදීමට කැමතිය.
මා මුලිම්ම හිප්-හොප් දු‍ටුවේ 1995 දීය. ඉදිරිපත් කළේ "සිල්වා" කෙනෙකි.
ඈ අශාන්තී නොවේ, ඉමේෂිකා ද සිල්වා ය.

 
;