Sunday, October 13, 2013

" මතට තිත! " චාරුකා කුඩාහෙට්ටිගේ සංකල්පයක් විය.

ගාලු කොල්ලෝ මතට ලොල්ලෝ ය. ලො‍රැන්සෝද අල්මේදා ගාලු කො‍ටුවට ගොඩබැස්ස දා සිට බොන්න පටන් ගත් බීම නතර කරවා දැමීමට අම්මලා ද තාත්තලාද, ගමේ පන්සලේ හාමුදුරුවන් ද, ඉස්කෝලේ ලොකු මහත්තයා ද, බාලිකා පාසලේ ප්‍රේමවන්තිය ද, වෛද්‍ය හරිශ්චන්ද්‍ර ද කාලාන්තරයක් පුරා උත්සාහකරමින් සිටියහ. නමුත් කොල්ලෝ බිව්වෝය. අන්තිමේදී සියල්ලෝ උන්ව අතහැර දැම්මෝය. චාරුකා කුඩාහෙට්ටි හැර අන් සියල්ලෝම උන්ව අතහැර දැම්මෝය.

චාරුකා කුඩාහෙට්ටි මෙන්න මෙවන් කෙනෙකි. ඈ සුදුම සුදුය. කෙට්‍ටුය. උසය. ඇගේ කොණ්ඩය නයිජීරියාවේ "මුරු" ගේ වැනිය. එය බෙල්ලෙන් පහළට දික්ව තිබෙනු මා කවදාවත් දැක නැත. ඈ විසින්  "නොකළ" බාහිර වැඩ මතක් කරගන්නට මට දින දෙකක් ගතවිය. ඈ ශිෂ්‍ය නායිකාවක්ද? ඔව්, ඈ මගේ නිවාස නායිකාව විය. ඈ ගයිඩින් හෝ යූත් එවෝඩ්ස් කළාද? ඔව්, ඈ ජනාධිපති බාලදක්ෂිකාවකි. මෙහෙම මතක් කරන විට මට මතක් වූයේ ඈ විදුහලේ ප්‍රථමාධාර කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක් ද වූ බවය. මොනවා කළත් ක්‍රීඩා නම් නොකරන්නට ඇතිය කියා සිතනවාත් සමඟ ඈ දුර පැනීමේ ඉසව්වට නාසරත් නිවාසය නියෝජනය කළ අයුරු මට මතක් වන්නට විය.  ඈ සිංදු කියූ බවත් නාට්‍ය කළ බවත් චිත්‍ර ඇන්ද බවත් මම ඔබට පවසමි. ඇත්තෙන්ම ඈ පාසල තුළ නොකළ දෙයක් නැත.

එකල චාරුකා කුඩාහෙට්ටි පාසලේ අමධ්‍යප සංගමයේ සභාපතිනිය විය. ඒ 1994-95 වකවානුවේදීය. එය ඉතා නරක කාලයකි. ගාලු කො‍ටුව, දුම්රිය පොළ සහ බස්නැවතුම කොල්ලන්ගෙන් පිරී තිබුනු කාලයකි. මත්වූ කොල්ලන්ගෙන් පිරී තිබුනු කාලයකි. සමහරු ප්‍රේමයෙන් මත්වී සිටියහ. තවත් සමහරු ශෝකයෙන් මත්වී සිටියහ. ඇතැම්හු හුදෙකලාවෙන් මත්වී සිටියහ. මේ සියල්ලෝම දුමින් සහ මතින් මත් වී සිටියහ.
චාරුකා කුඩාහෙට්ටි මතට තිත තැබීම අරඹන්නේ ගාල්ලේ ප්‍රධාන බාලක පාසල් හතරක් සමඟ එක්වීමෙනි. ඒ පාසල්වල අමධ්‍යප සංගම් හතරේ සභාපතිවරුන් සමඟ සාමූහිකව වැඩ කිරීමට පොදු එකඟ තාවයක් ඇරඹීමෙනි. ඇලෝසියස් එකේ උස ගයාන් අයියාද රිච්මන්ඩ් එකේ කොට ගයාන් අයියාද විද්‍යාලෝකේ සිසිර අයියාද අපේ පාසලට යන්න එන්න පටන් ගන්නේ මේ එකඟතා ගිවිසුමට අනුවය. ඔවුහු වැඩමුළු තැබූහ, ප්‍රදර්ශන සංවිධානය කළහ, පා ගමන් ගියහ, තරඟ පැවැත්වූහ. එවකට පාසලේ හත වසර පංතියේ සිටි මම  ඔවුන් නිසා ඉගෙන ගත් වචන තුනක් තිබේ. පළමු වැන්න "ADIC" ය. දෙවැන්න "නාකොටික්" ය. තුන්වැන්න "ස්ලානා" ය.
වසර තිහක ජීවිතකාලය තුළ මා දු‍ටු ශක්තිමත්ම සංධාන ගතවීම මෙය විය. ඔවුන් පෙනීසිටියේ නිළය සහ බලය වෙනුවෙන් නොවේ, පොදුජන යහපත වෙනුවෙනි.

වරක් ලෝක අමධ්‍යප දිනය වෙනුවෙන් සකසන ලද පුවරුවක් ප්‍රදර්ශනය කිරීම සඳහා  නගරය තුළ ඉඩක් ලබා ගැනීමට ඈට ගාලු පොලිස් අධිකාරී කාර්යාලය වෙත නිරන්තර පාගමනක යෙදීමට සිදුවිය. අන්තිමේදී පොලිස් බැ‍රැක්ක පි‍ටුපසින් ප්‍රධාන පාරට මුහුණලා පිහිටි පුංචි ඉඩක් ඈ වෙනුවෙන් වෙන්කිරීමට පොලිස් අධිකාරී තුමා කරුණාවන්ත විය. එසේ ඉඩ ලබා දුන්නේ ඇගේ නිහඬ ඉල්ලීම දෝංකාර දෙන්නට පටන් ගත් නිසාවෙන් බව පොලිස් අධිකාරීතුමා පසුව සිස්ටර් රොසිනා වෙත ලියා යැවීය.
ඒ සිදුවීමෙන් වසර දහයකට පසුවත් ගාලු  පොලිස් බැ‍රැක්ක පෙළට පි‍ටුපස කෙසෙල් පදූරු ගාල ලඟ ඇගේ අමධ්‍යප පුවරුව නිරුපද්‍රිතව තිබිණි. ඒ 2005 අවුරුද්දය, මහින්ද චින්තන ප්‍රතිපත්තිය "මතට තිත" හඳුන්වා දුන් අවුරුද්දය.

14 comments:

  1. ඒක එහෙනං 2005 ගලවන්න ඇති නේද? අලුත් ඒවා හිටුවන්න... චාරුකාගේ පුවරුවේ පිංතූරයක් එහෙම නැද්ද?

    ReplyDelete
    Replies
    1. පුවරුව දැන් ගලවලා.අන්තිමට දැක්කේ 2005 තමයි. ඒත් ඒක තිබ්බ තැන පිංතූරයක් මම දාන්නම්.

      Delete
  2. අපේ කාලෙත් ADIC ස්ලානා දෙකෙන්ම වැඩසටහන් තිබුණ . ඉස්කෝලේ ඇඩික් සංගමයේ ලේඛම් වෙලා හිටියේ මම . අපි කෙල්ලෝ සිගරට් බිව්වේ බියර් බිව්වේ නැතත් අපේ ඉස්කෝලේ මේ සංවිධාන වලට බොහොම ලොකු ඉඩක් ලබා දුන්න අපේ විදුහල්පතිතුමිය . කවද හරි බිරිඳක් අම්මා කෙනෙක් වෙන නිසා කෙල්ලන්ට මේ ගැන අවබෝධයක් තියෙන එක හොඳයි කියල .පෝස්ටර් අඳින්න පත්‍රිකා හදන්න වගේ වැඩ අපිම කළා . ඒවායින් ජිවිතයට ලැබුන අත්දැකීම් අනර්ඝයි .

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. චාරුකා ලා ධනුෂ්ක අයියලා පටන් ගත්ත සංගමය පහු පහු වෙනකොට මූලික අරමුණින් බැහැර වුනා මම හිතන්නේ. මම දන්න කාලෙදි ඒක යූස් වුනේ ගෑණු ඉස්කෝල සහ පිරිමි ඉස්කෝල වල කෙල්ලො කොල්ලොන්ට පොදු චැට් ස්පේස් එකක් හදාගන්න. ඒකෙ වරදක් නෑ, ඒ වෙනකොට ගාල්ලෙ කොල්ලො හැදිල ඉවරයි.

      Delete
  3. චාරුකා කුඩාහෙට්ටි මේ විප්ලවය අරඹන්නේ ගාල්ලට පැමිණි "මත්කුඩු වසන්තය" ට එරෙහි වෙමිනි.මේ කාල සීමාව (93-96) දකුණු පළාතේ තරුණයන් බිළිගත් දෙවැනි වසංගතය වූ බව කිවයුතුය. පළමු වැන්න ඉන් වසර කිහිපයකට පෙරාතුව 88-89 කාලයේදී ටයර් මත දවා තිබිණි. මේ වසංගතයට බිළිවූ ප්‍රකට චරිත ගාලූ පාසල් තුළ වෙත්. ඕලෙවල් ඩී අටකින් සමත් වී ඒ ලෙවල් එෆ් හතරකින් අවසන් කරගත් අයියලා පිරිසක් අදද මගේ මතකය පුරා දුප්පත්ව ‍රැඳී ඇත. මේ සටහන ලිව්වේ ඔවුන් වෙනුවෙනි. ඔවුන් ගෙන් පසු පරම්පරාවට ඒ දුගතිය අත් නොවනු පිණිස මහන්සි වී වැඩකළ චාරුකා කුඩාහෙටිටි වෙනුවෙනි. ඇලෝසියස් එකේ කාටූන් ධනුෂ්ක අයියා වෙනුවෙනි.කයිබු වෙනුවෙනි. නම නොදත් අමධ්‍යපකාරයන් වෙනුවෙනි.
    ඔවුන්ගේ වැඩ නිසා අපේ කාලය වන විට ගාලු බස්නැවතුමේ හෝ.ස්ටේෂන් එකේ හෝ රෑම්පාට් එකේ හෝ රස්ති ගසන කොල්ලන් සොයා ගැනීමට අපහසු විය. සොයාගත්තා නම්; ඒ පෙම්වතිය එනතුරු ඈ පැමිණෙන්නට විනාඩි දහයකටපෙර බස්නැවතුමට එන කොල්ලෙක්ය.

    ReplyDelete
  4. පහුවෙලා නමුත් යමක් ලියන්න හිතුනා මමත් ඉස්කෝලේ ඔය අනූ ගණන්වල ADIC එකට වැඩ කර නිසා. ඒකෙ වැඩ වලට සල්ලි හෙව්වේ එක එක දේවල් විකුණලා. දියවුණු අයිස්ක්‍රීම් සේල් එකක් දැම්මේ ඉන්ටවල් එකේ කැන්ටින් එක ඉස්සරහ ඩෙස්ක් දෙකක් උඩ!

    ReplyDelete
    Replies
    1. //ඕලෙවල් ඩී අටකින් සමත් වී ඒ ලෙවල් එෆ් හතරකින් අවසන් කරගත් අයියලා පිරිසක් අදද මගේ මතකය පුරා දුප්පත්ව ‍රැඳී ඇත. මේ සටහන ලිව්වේ ඔවුන් වෙනුවෙනි. ඔවුන් ගෙන් පසු පරම්පරාවට ඒ දුගතිය අත් නොවනු පිණිස මහන්සි වී වැඩකළ චාරුකා කුඩාහෙටිටි වෙනුවෙනි. ඇලෝසියස් එකේ කාටූන් ධනුෂ්ක අයියා වෙනුවෙනි.කයිබු වෙනුවෙනි. නම නොදත් අමධ්‍යපකාරයන් වෙනුවෙනි// මේ යටින්ම ලියල තියෙන්නේ ඔයා ගැන තමයි.

      Delete
  5. මට ඒවා හොඳට මතකයි. මමත් ඒ අයිස්ක්‍රීම් කාලා හැදුනු කෙනෙක් තමයි.

    ReplyDelete
  6. අක්කේ ඕකට කිව්වේ ෆන් කිඩ්ස් කියලා. උබලයි ඉස්කෝලේ හතර මායිම ගැන දැනගත්තේ ඕකෙන් තමා. ඇත්තම කියනවනම් අපේ උදාර පරමාර්ථය මතට තිත නම් නොවිය. සරණ බන්ධනයක් හොයමින් තිබුන කාලයක්. අපි ඉතින් ඕක කරනවා කියලා පාක් එකේ අපිත එක්ක හිටපු එවුන් දන්නේ නෑ.

    අදෝමැයි ගිනිසිළුවක් අරගෙන ඔය මොකක්හරි ADIC වර්ල්ඩ් බොඩි එකකින් ආවා . ඔන්න ඉතින් හැන්ගිහොරා වෙස් බැන්දට එළියේ නටන්න වුනා. යකෝ අපි සිගරට් බොන්න එපා කියල ලිෆ්ලට් බෙදද්දී අපේම එවුන් අපිට හූ කිව්වා

    කතාව නිම නෑ ශෝකාන්තයකින් කෙලවරවුනේ. අමධ්‍යපෙට ෆන්ඩ් රේසිංවලට කොටුව ඉස්සරහ තිබ්බ කාර්වොෂ් එකකින් සල්ලි අරගෙන යහමට අපි තුන් හතරදෙනෙක් අනුමතවෙලා එතන අවසානයේ කරපු DJ එකේ නටනකොට. මම හිතන්නේ ඔය කියන අක්කලාට ක්ලික්වෙලා ආයෙත් ෆන් කිඩ්ස් එන්න එපා කිව්වා.

    අනේ ඉතින් ගාල්ලේ ගැණු දරුවෝ අපිව ටෝලරේට් කරපු එකම කාලය ඒ විදියට නිමාවුණා.

    ReplyDelete
    Replies
    1. ෆන් කිඩ්ස් හැදුණේ 1999. මේ සිද්ධි 1995.

      Delete
  7. ස්ලානා එකෙන් තියපු චිත්‍ර තරගෙකින් මමත් දින්නා.

    දැන් ඔය කතා නායිකාව මොකද කරන්නේ....

    ReplyDelete
  8. ස්ලානා එකෙන් තියපු චිත්‍ර තරගෙකින් මමත් දින්නා.

    දැන් ඔය කතා නායිකාව මොකද කරන්නේ....

    ReplyDelete
  9. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  10. This is really beautiful. U are so creative nangi.

    ReplyDelete

 
;