Monday, January 27, 2014

ආමර් වීදිය බෝම්බයෙන් නත්තල් සීයා මිය ගියේය

එකල අපට හැමදාම නත්තල් තිබිණි., නොවැම්බර් මාසයේදීය. දෙසැම්බර් නිවඩුවට පෙර පොඩි ඉස්කෝලේ පවත්වන නත්තල් සැමරුමට නත්තල් සීයා පැමිණීම අනිවාර්ය විය. ඔහු "බන්ටි" ටොෆිරැගෙන ආවේය. හැම අවුරුද්දකම නොවැම්බරයේ අග අපි ඔහු එනකල් බලා සිටියෙමු. ඔහු සමඟින් එක්ව ෂෙඩ් එක පුරා නටමින්, ගයමින්, දුවමින්, බිම පෙරළෙන්නටය.නත්තල් සීයා පැමිණියේ කාගේ හෝ වෑන් එකකිනි. ලොකු ඉස්කෝලෙ සිටය.තම කාරිය අහවර වූ විට පැමිණි වෑන් රථයෙන්ම ඔහු ආපිට ලොකු ඉස්කෝලේ බලා ගියේය. උදේශිලා ගේ ගෙදරට මුහුණලා තිබූ එක වසරසී” පංතිකාමරය මැද්දෙන් බැලුම්බෝල ගොඩක් ඇමිණූ රිටක් කරේ තබාගෙන නටමින් එන නත්තල් සීයා දැනුත් ජීවමානය. වරක්, කවරෙක්දැයි සොයා ගන්නට තිබූ උවමනාව නිසාම නත්තල් සීයා ආපිට ගිය වෑන් එක පස්සෙන් දිවූ නිසා මම මිස් දේවිකාගෙන් බැණුම් අසා ඇත්තෙමි. "අම්මා හිටියේ නැත්තම් මෙයාව ගෙදර යවනවාම'" කියා එදා මිස් දේවිකා තරහෙන් පිපිරුණි. නිසා පොඩි ඉස්කෝලේ හිටි කාලයේ නත්තල්  නත්තල් සීයා කාගේ කවුද කිය සොයා ගැනීම නවත්තා දැමීමට සිදුවිය. නත්තල් සීයා හරියටම හඳුනා ගන්නාවිට මා උන්නේ හතර වසරේය.


ඔහුගේ නම "නිකුලස්" නොව "ක්වින්ටස්" විය. සර්ලා අතේ ඇඟිලි ගණනට හිටි අපේ ඉස්කෝලේ ලාබාලම සහ ප්රීතිමත්ම ගුරුවරයා ඔහු විය. ඔහුට තිබුණේ පොකුරු ගැහුණු බොකුටු කොණ්ඩයකි. හීනි උඩුරැවුලකි.ඔහු සර් තිලක් තරම් කළු නැති බවත් සර් ලාල් තරම් සුදු නැති බවත් මට මතකය. සර් ක්වින්ටස් හිනා වෙන විට ඇස් දෙක හීනි වෙන්නේය. කම්මුල් වළ ගැහෙන්නේය. දත් දෙපෙළම විවර වෙන්නේය. එහෙම වෙන්නේ මුළු හදවතිම්ම ප්රීතිමත් හිනාවෙන කෙනෙකුට පමණි.
ඔහු ඉගැන්නූයේ "ක්රිස්ටියැනිටි" . නවය වසර පංති කාමර පේළිය පටන්ගන්නා තැනම තිබූ "ක්රිස්ටියැනිටි කෝනර්" එකේදීය. ඊට එහා පැත්තේ "ගද්යපාඨ කියවීම" පුහුණු වෙමින් මා, ඔහු උගන්වනු බලා හිඳ ඇත්තෙමි. ඔහු ඉගැන්නූ කිසිවක් දැන් මගේ මතකයේ නැතත් ගතවූ අවුරුදු විස්සටම මට මතක එක දෙයක් තිබේ. ඔහුගේ හිනාවය. සර් ක්වින්ටස් හිනා වෙන විට ඇස් දෙක හීනි වෙන්නේය. කම්මුල් වළ ගැහෙන්නේය. දත් දෙපෙළම විවර වෙන්නේය. එහෙම වෙන්නේ මුළු හදවතිම්ම ප්රීතිමත් හිනාවෙන කෙනෙකුට පමණි.
නත්තලට නත්තල් සීයා වී බන්ටි ටොෆි බෙදූ ඔහු වෙසක් එකට සිල් සමාදන් වෙන ළමයින්ට දහවල් දානය බෙදුවේය.ජූලි මාසයේ බණට හාමුදුරුවන් වඩින විට "පා දෝවණය කරන තැන" කවදත් සිටියේ ඔහුය. ඉස්කෝලේ ගුරු මණ්ඩලයේ "අක්කලා" හැත්තෑ දෙනාට සිටි හොඳම "මල්ලී" ඔහු බවට මට අදටත් සැකයක් නැත්තේය.
අනූ තුනේ මැයි පළමු වෙනිදා පිපිරූ ආමර්විදිය බෝම්බයෙන් නත්තල් සීයා මිය ගියේය. නත්තල් සීයා කෙනෙකු මිය යාමට කිසිසේත්ම නුසුදුසු වයසකදී .එවක ඔහු විසිපස් හැවිරිදි වී යැයි මම සිතමි. ගාල්ලේ සිටි අදේශපාලනික නත්තල් සීයා, කොළඹ 15 දේශපාලනරැලියකදී මියගියේ කෙසේද කියා මා දන්නේ නැත. කිනම් හෝ කටයුත්තකට කොළඹට එන මිනිසුන්ව ලංගම බස් වල නංඟාගෙන දේශපාලනරැලි වලට ගෙනියන්නට පටන් ගත්තේ ඔන්න ඔය කාලයේදී බව නම් මා දන්නවාය.
 
;