Sunday, October 19, 2014

වසවර්තියා මෙල්ල කළෙමි; නැත, උගෙන් මෙල්ල උනෙමි !

ගණන්කාරයෙක් වෙන්න නවය වසරෙදි බැහැ..ඒක කරන්න පුළුවන් දහය  වසරෙන් පස්සෙ.මම මේක කියන්නේ මගේම අත්දැකීමෙන්.එක්දහස් නවසිය අනූ හයේ   අපි නවය  වසරේ ඉන්න කොට මගේ හොඳම යාළුවා ජයංකාට ලොකු අර්බුදයක් ඇති වුනා.එයා ගියේ අනුෂා මානවඩුගේ ගේ තාත්තා ගෙ ගණිත ටියුෂන් පන්තියට. ඒක තිබ්බේ ලස්ස කඩේ හරියේ....මේ පංතියේ හිටියෙ හතරයි.ජයංකා එකම කෙල්ල.අනික් තුන් දෙනාම එක පැත්තක්ලු.ජයංකාට අනංමනම් කියනවාලු.යාළුවන් වශයෙන් මේ අවනඩුව දරන් ඉන්න බැරි උනා මටත් - අන්ජලාටත් !
ඒ වෙනකොට රටේ ඉඳල තිබ්බෙ ගණන්කාරයෝ දෙන්නයි.
එස්. උපාලි සහ ටී. පත්මෙ...
මේ දෙන්න ඇරුනම වෙන කෙනෙක් හිටියා නම්, ඒ මම.
අවවාදයයි : මේ මෙල්ල කළ නොහැකි කොල්ලෙකි 
මමයි, මගේ අනික් පළුව වන ඇන්ජලා නිවන්තියි ඊලඟ සතියේ ගියා ජයංකා එක්ක යටකී ගණිත පංතියට.ඒ ගණිතය ඉගෙන ගන්න නෙමී, ගණිතය උගන්නන්න...ජයංකාට කරදර කරපු උදේශ් ටයි සිරිමාන්න ටයි.
ගුරුතුමා අපිව හොඳින් පිළිගත්තා.අපි ඉතාම අවිහිංසක ලෙස බංකුව ඉඳගෙන ඉගනගන්න පටන් ගත්තා.එදා ක්‍රිකට් තරඟයක් තිබුනා.දැවැන්ත ක්‍රිකට් ලෝලියෙක් වූ ගුරුතුමා පංතිය අතර මග නිතර නිතර තම නිවස ඇතුළට යනවා..තරඟය නරබන්න.
දැන් අපේ තරඟය,
ගුරුතුමා එළියට ගියා.
ගණන්කාරයෙකු  වන නදීෂා චන්ද්‍රසේන තරඟය ආරම්භ කරමින්..පංතියේ සිටි අහිංසකම කොල්ලෙක් වන නාලක ගෙන් අහනවා "මේ..ටෑන් අනූව කීයද?"
"අනන්තයයි" නාලක කියනවා.
"අනන්තය ලියලා පෙන්නන්න බැරිද?" ආයෙම මම අහනවා.
"බෑ" ..ඊලඟට උත්තර දෙන්නේ නාලකගේ යාලුවා ගයාන් සිරිමාන්න.
"ඔයා එළු පවුලකින්ද පැවත එන්නේ?' මම අහනවා. "අනුන්ගෙ ප්‍රශ්නයකයට හොට දාල "බෑ" කියලා කියන්නෙ එළුවන්ට තමා.." මමම කියනවා.

මෙන්න මේ ආකාරයට වරෙක ඉතා දර්ශනීයව වරෙක ඉතා භයංකාර ලෙස මම ඒ කොල්ලන්ව මැඩෙව්වා.පංතිය අවසානයට කලින් කොල්ලො තුන් දෙනාම නැගිට්ටා, කලින් ගෙදර යන්න.මම මැඩෝනා වගේ ඉතා ආඩම්බරයෙන් යාළුවෝ දෙන්නා එක්ක පංතියෙන් එලියට ආවා.ඒත් අනේ......පංතියෙන් එළියේ ගයාන් සිරිමාන්න සහ මිතුරු කැළ හිටගෙන ඉන්නවා..හරියට ජිනීවා වලදි අපට විරුද්ධව අත උස්සපු ටීම් එක වගේ.දැන් ඉතිං කොහෙට කියලා යන්නද මැඩෝනා ?
මැක්ඩොනල්ඩ්ස්,කේ.එෆ්.සී,පිට්සා හට් වගේ ඒවා ඒකාලේ ගාල්ලෙ නොතිබුනාට... එදා මම කෑවා උපරිම කෑමක්.
ඒනිසා හොඳින් මතක තියා ගන්න..ඔබ ගනන් කාරයෙක් වෙනවා නම්;ඒක දහය වසරෙන් පස්සේ කරන්න. 

Saturday, October 18, 2014

උක්කෝලේ නොගිය කාරියවසම්ගේ කතාව !

පහුගිය අවුරුදු විස්සක් විසිපහක් තිස්සේ මම කිසිම දරුවෙකු සමඟ හුරතල් කතා බහක යෙදී නැත. පොඩි දරුවන් දුටුවිට හිනාවෙනවා විනා උකුලට ගෙන හුරතල් කර නැත. මට එහෙම වෙන්නට සිද්ද වූයේ උක්කෝලේ නොගිය කාරියවසම් මුල්වරට හමුවීමෙන් අනතුරුවය.


එවක මම හත් හැවිරිදි වීමි. ඒ කාලයේ හත් හැවිරිදි කියන්නේ පොඩි ඉස්කෝලේ සෙකන්ඩ් ඉයර් එකේ "අක්කා" කෙනෙක් ලෙස ඉන්නවාය කියන එකය. එහෙම සෙකන්ඩ් ඉයර් එකේඉන්නා අයට බාලාංශේ පොඩ්ඩන්ගෙන් හොඳින් ගරු සැලකිලි ලැබේ. අවුරුද්දක් මුළුල්ලේ දන්නා නිසා බාලාංශේ ගුරුවරුන්ගෙන් ද සැලකිලි ලැබේ. උක්කෝලේ නොගිය කාරියවසම් මට මුල්වරට හමුවන්නේ මා පහල බාලාංශයේ එවන් සැලකිය යුතු පුද්ගලයෙකුව සිටියදීය.


ඒ පහල බාලාංශය හෙවත් පොඩි ඉස්කෝලේ පළමු වසරට ළමයි ඇතුලත් කරගත් දිනයයි. දිනය මතක නැති උනාට ඒ 1989 අවුරුද්දයි. අළුතින් පාසලට ඇතුළුවන බාලාංශ සිසුන් වෙනුවෙන් මමත් ටානියා හඳපාන්ගොඩ ත් පිළිගැනීමේ කතාව කළ අවස්ථාවයි. උක්කෝලේ නොගිය කාරියවසම් අම්මා - පුංචි අම්මා සහ ආච්චි අම්මා සමගින් උත්සව සබාවට ඇතුළු උනේ ඔන්න ඔය මොහොතේය. සියලු දෙනාට අසුන් ගන්නට ඉඩ කඩ ප්‍රමාණවත් නොවූ නිසා ඇගේ අම්මා - පුංචි අම්මා සහ ආච්චි අම්මා මම සිටි අසුනට තරමක් දුරින් වාඩි ගන්නා ලදී. උක්කෝලේ නොගිය කාරියවසම් අසුන් ගත්තේ මගේ උකුළ මතය. ඈ ඉතාම හුරුබුහුටි පෙනුමකින් යුක්ත ඉතාම හුරතල් ගැහැණු දරුවෙක් විය. එදා ඈ එතෙන්ට පැමිණ සිටියේ එදින එක වසර පංතියට ඇතුලත් කර ගත් පුංචි අක්කා වෙනුවෙනි. 


කිසිම සහෝදර සහෝදරියක් නැතිව තට්ට තනියම ගෙදර හැදුණු මම , ජීවිතේ පළවෙනි වතාවට පොඩි දරුවෙක් උකුළට ගත්තේ එදාය. එය "අන්තිම වතාවට" කියා කීවද අවුලක් නැත.

ඒ හුරතල් දැරියගෙන් මම මුලිම්ම ඇසූවේ "බබා ඉස්කෝලේ යනවාද ?:" කියාය. ක්ෂණයෙන් මාදෙස හැරී තර්ජනාත්මක බැල්මක් හෙලූ දැරිය "මම උක්කොලේ යන්නේ නෑ ඕයි " කියා මොරදුන්නාය. ඒ මොරදීම කොයිතරම් දරුණුද යත් උක්කෝලේ නොගිය කාරියවසම්ගේ අම්මාද පුංචි අම්මාද ආච්චි අම්මාද අපේ අම්මාද සැනෙන් එතැනට දුව ආවෝය. ඒ හඩින් උත්සව සබාව කැලඹුනු බවක් මතක නැති උනත් මහා ගාලගෝට්ටියකින් පසු පාර්ලිමේන්තුව මදකට කල් තැබීම වැනි විශේෂණයක් යෙදීමට මම කැමතිය.
උක්කෝලේ නොගිය කාරියවසම් මට සද්දයක් දැමීමෙන් නැවතුණේ නැත. තරහෙන් ඔලුව ගස්සමින් එතෙක් කල් පහලට දමාගෙන උන් ඇගේ කකුල් දෙකත් මගේ උකුළ උඩට ගත්තාය . උක්කෝලේ නොගිය කාරියවසම් අබේසුන්දර පාරේ සිට කළුවැල්ල දක්වා ඇවිදිමින් ගෙනා දූවිලි තට්ටුවක් ඇගේ සැන්ඩ්ල්ස් දෙකේ පතුළේ හැඩයට මගේ සුදු ගවුමේ සටහන් විය. අපි හික්කඩුවේ ගෙදර යනකල්ම ඒ සපත්තු පාරවල් ඇති ගවුම මගදිග මිනිස්සුන්ට ප්‍රදර්ශනය විය.

මම උක්කෝලේ නොගිය කාරියවසම්ගෙන් ඇහුවේ හෙන අහිංසක ප්‍රශ්නයකි. ඒකට ඔය තරම් දරුණු උත්තරයක් ලැබුණේ ඇයිද? ඇගේ අම්මා විසින් පසුව විස්තර කරනකල් මට තිබූ එකම උභතෝකෝටිකය එය විය. උක්කෝලේ නොගිය කාරියවසම් පවුලේ බාලයය. අයියලා අක්කලා පමණක් නොව අම්මාද හැමදාම උදේ පාන්දර ඉස්කෝලේ යන්නේය, හවස ගෙදර එන්නේය. අසීමිත නිදහසකින් ගෙදර පෙරළන උක්කෝලේ නොගිය කාරියවසම් විස්සයි -විස්සේ පන්තිකාමරයකට හිරවෙන දවස ගැන උන්නේ නොමනාපයෙනි.මා ඇසු අහිංසක ප්‍රශ්නය කළුවැල්ල පෙරළන දරුණු ප්‍රශ්නයක් වූයේ ඒ නිසාය. අපේ අම්මා නං තාම හිතාගෙන ඉන්නේ එදා මා විසින් කියූ අලුකුත්තේරු කතාවක් නිසා උක්කෝලේ නොගිය කාරියවසම්ට තරහ ගිය බවය.

කොහොමහරි මම නං අවුරුදු දහතුනකට පසුව ඉස්කෝලේ යාම නතර කලෙමි. නමුත් එදා මා පත්කළ අපහසුතාවට කළ කම් පලදීමක් ලෙස උක්කෝලේ නොගිය කාරියවසම් අදටත් ඉස්කෝලේ යන්නේය. වයස පනස්පහ පිරෙනකල්ම ඉස්කෝලේ යන්නේය.

විජේවීර සහෝදරයාගේ පන්ති පහට සහභාගී උනෙමි !

විජේවීර සහෝදරයාගේ පන්ති පහට සහභාගී වන විට මට වයස අවුරුදු දහතුනකි. එය සමාජ දේශපාලනික පෙරළියක් කිරීමට කිසිසේත්ම නුසුදුසු වයසකි.  අසූ ගණන් වල හිතුවක්කාරයෙක් වන මට එහි බරපතළකම වැටහෙන්නේ දැන්ය.
මේ කියන්නේ නවසිය අනුගණන් ගැනය. විජේවීර සහෝදරයා සහ ඔහුගේ පන්ති වල වටිනාකම ශිෂ්‍ය ප්‍රජාවට වැටහුණු නවසිය අනුගණන් ගැනය. ඔය කියන නවසිය අනුපහ අවුරුද්දේ අපේ පාසල ඇතුළට විත් හත අට වසර වල සිසුවියන්ට පන්ති පවත්තන්නට අවසර ලැබී තිබුනේ විජේවීර සහෝදරයාට පමණි. අසූ අටේ පාසල ඉදිරිපිටින් කොල්ලන් කෙල්ලන් පෙළපාලි යද්දී මුළු දකුණු පලාතෙම්ම එකම සිසුවියක් හෝ පාරට නොබැස්සවු විදුහල්පතිනිය හිටියේ අපටය. ඇගේ විශ්වාසය උපරිමයෙන් දිනා ගනිමින් පාසල් වේලාවෙන් පසු හැම බදාදාම පැය දෙකක් හත අට වසර වල සිසුවියන්ට පන්ති පවත්තන්නට විජේවීර සහෝදරයාට හැකි විය. කොහොමත් ඔහු ක්‍රියාවේ හා කතාවේ හපනෙකි.


ඔය කාලය වන විට විජේවීර සහෝදරයා දකුණේ ජනප්‍රිය පුද්ගලයෙකි. බොහෝ පාසල් වල  නිවාසන්තර ක්‍රීඩා උළෙලවලදී ඔහු හා  සටන් සගයන් නිතර දක්නට ලැබුනේය. තමන්ට හැකි පමණ අනෙකාට උදව් කිරීම ඒ කාලයේදී පවා ඔහු තුළ පවතී මාහැඟි මිනිස් ගතියකි.
සහෝදරයාගේ පළමු බදාදා පංතිය, කොට්ටව කැලය ගැන හඳුන්වාදීමක් විය. කොට්ටව කැලය යනු ගාල්ලේ කැලෑ සටන්වල කෙම්බිමයි. බොහෝ සටන් කාමීන්  අදත් නිහඬව කොට්ටව කැලය තුළ නිදති. සහෝදරයා නං එදා අපට කියා දුන්නේ කොට්ටව කැලයට එන සංචාරක පක්ෂීන් ගැනත් ආවේණික තුරු ලතා ගැනත් ජෛව විවිධත්වය ගැනත් විතරය.
සගයෙකුට අනතුරක් වී නම් උරමාවක් දමන ආකාරය උගන්නන ලද්දේ සහෝදරයාගේ දෙවන  බදාදා පංතියේදිය.  තුන්වන බදාදාවත් හතරවන බදාදාවත් ගත කරන ලද්දේ උරමාවේ ප්‍රැක්ටිකල් කරමිනි. ඒ නිසා හතරවන පන්තිය වනවිට සහෝදරයා හඳුන්නන ලද්දේ "උරමාවා" යන නමිනි.  ඒ කාලයේ සහෝදරවරුන්ට නමට අමතරව එක්කර ගත් අන්වර්තනාමයක්  තිබීම අත්‍යවශ්‍ය දෙයක් විය.
සහෝදරයාගේ පස්වැනි  බදාදා පංතිය, සම්පුර්ණෙම්ම තියරි පන්තියක් විය. මොනිටර් එක්සයිස් පොතේ පිටු හයක් විතර පුරා අපි ලියාගත් තියරි සියල්ල සහෝදරයා කීවේ මතකයෙනි. අඩුගානේ කොළයක්වත් නොබලමිනි.
ඒ වන විට මේ පංති කෙරුවාව අට වසර කෙල්ලන් අතර ජනප්‍රිය වන්නට වූ අතර බොහෝ දෙනෙක් බදාදා හවස පංතිවලට එන්නට පටන් ගෙන උන්හ.එහෙයින් අපි මුලින් හිටි පන්ති කාමරයේ  ඉඩ මදිවීම  නිසා ක්‍රීඩා පිටිය ඉදිරිපිට ටෙන්ට් එකේ පන්ති කරන්නට පටන් ගතිමු.
නමුත් හයවෙනි බදාදා වෙද්දී සහෝදරයා අතුරුදන් විය.
එකල, හිතහොඳ සටන්කාමි සහෝදරවරු  පන්ති කරන්නට පැමිණීමත් හදිසියේ අතුරුදන් වීමත් සාමාන්‍ය සිදුවීමක්ව තිබුණි. ඒ නිසා  අපි සහෝදරයා ගැන හොයන්නට නොගියෙමු.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
මට සහෝදරයා ආයේ මුණගැසුනේ පහුගිය සතියේ ෆේස්බුකියේදිය. ඒ වන විට විජේවීර සහෝදරයා විසින් අපට ශාන්ත ජෝන් ගිලන්රථ සේවයේ ප්‍රථමාධාර පංති පවත්වා අවුරුදු දහනවයක් ඉක්ම ගොස් තිබිණි.



 
;