Saturday, October 18, 2014

විජේවීර සහෝදරයාගේ පන්ති පහට සහභාගී උනෙමි !

විජේවීර සහෝදරයාගේ පන්ති පහට සහභාගී වන විට මට වයස අවුරුදු දහතුනකි. එය සමාජ දේශපාලනික පෙරළියක් කිරීමට කිසිසේත්ම නුසුදුසු වයසකි.  අසූ ගණන් වල හිතුවක්කාරයෙක් වන මට එහි බරපතළකම වැටහෙන්නේ දැන්ය.
මේ කියන්නේ නවසිය අනුගණන් ගැනය. විජේවීර සහෝදරයා සහ ඔහුගේ පන්ති වල වටිනාකම ශිෂ්‍ය ප්‍රජාවට වැටහුණු නවසිය අනුගණන් ගැනය. ඔය කියන නවසිය අනුපහ අවුරුද්දේ අපේ පාසල ඇතුළට විත් හත අට වසර වල සිසුවියන්ට පන්ති පවත්තන්නට අවසර ලැබී තිබුනේ විජේවීර සහෝදරයාට පමණි. අසූ අටේ පාසල ඉදිරිපිටින් කොල්ලන් කෙල්ලන් පෙළපාලි යද්දී මුළු දකුණු පලාතෙම්ම එකම සිසුවියක් හෝ පාරට නොබැස්සවු විදුහල්පතිනිය හිටියේ අපටය. ඇගේ විශ්වාසය උපරිමයෙන් දිනා ගනිමින් පාසල් වේලාවෙන් පසු හැම බදාදාම පැය දෙකක් හත අට වසර වල සිසුවියන්ට පන්ති පවත්තන්නට විජේවීර සහෝදරයාට හැකි විය. කොහොමත් ඔහු ක්‍රියාවේ හා කතාවේ හපනෙකි.


ඔය කාලය වන විට විජේවීර සහෝදරයා දකුණේ ජනප්‍රිය පුද්ගලයෙකි. බොහෝ පාසල් වල  නිවාසන්තර ක්‍රීඩා උළෙලවලදී ඔහු හා  සටන් සගයන් නිතර දක්නට ලැබුනේය. තමන්ට හැකි පමණ අනෙකාට උදව් කිරීම ඒ කාලයේදී පවා ඔහු තුළ පවතී මාහැඟි මිනිස් ගතියකි.
සහෝදරයාගේ පළමු බදාදා පංතිය, කොට්ටව කැලය ගැන හඳුන්වාදීමක් විය. කොට්ටව කැලය යනු ගාල්ලේ කැලෑ සටන්වල කෙම්බිමයි. බොහෝ සටන් කාමීන්  අදත් නිහඬව කොට්ටව කැලය තුළ නිදති. සහෝදරයා නං එදා අපට කියා දුන්නේ කොට්ටව කැලයට එන සංචාරක පක්ෂීන් ගැනත් ආවේණික තුරු ලතා ගැනත් ජෛව විවිධත්වය ගැනත් විතරය.
සගයෙකුට අනතුරක් වී නම් උරමාවක් දමන ආකාරය උගන්නන ලද්දේ සහෝදරයාගේ දෙවන  බදාදා පංතියේදිය.  තුන්වන බදාදාවත් හතරවන බදාදාවත් ගත කරන ලද්දේ උරමාවේ ප්‍රැක්ටිකල් කරමිනි. ඒ නිසා හතරවන පන්තිය වනවිට සහෝදරයා හඳුන්නන ලද්දේ "උරමාවා" යන නමිනි.  ඒ කාලයේ සහෝදරවරුන්ට නමට අමතරව එක්කර ගත් අන්වර්තනාමයක්  තිබීම අත්‍යවශ්‍ය දෙයක් විය.
සහෝදරයාගේ පස්වැනි  බදාදා පංතිය, සම්පුර්ණෙම්ම තියරි පන්තියක් විය. මොනිටර් එක්සයිස් පොතේ පිටු හයක් විතර පුරා අපි ලියාගත් තියරි සියල්ල සහෝදරයා කීවේ මතකයෙනි. අඩුගානේ කොළයක්වත් නොබලමිනි.
ඒ වන විට මේ පංති කෙරුවාව අට වසර කෙල්ලන් අතර ජනප්‍රිය වන්නට වූ අතර බොහෝ දෙනෙක් බදාදා හවස පංතිවලට එන්නට පටන් ගෙන උන්හ.එහෙයින් අපි මුලින් හිටි පන්ති කාමරයේ  ඉඩ මදිවීම  නිසා ක්‍රීඩා පිටිය ඉදිරිපිට ටෙන්ට් එකේ පන්ති කරන්නට පටන් ගතිමු.
නමුත් හයවෙනි බදාදා වෙද්දී සහෝදරයා අතුරුදන් විය.
එකල, හිතහොඳ සටන්කාමි සහෝදරවරු  පන්ති කරන්නට පැමිණීමත් හදිසියේ අතුරුදන් වීමත් සාමාන්‍ය සිදුවීමක්ව තිබුණි. ඒ නිසා  අපි සහෝදරයා ගැන හොයන්නට නොගියෙමු.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
මට සහෝදරයා ආයේ මුණගැසුනේ පහුගිය සතියේ ෆේස්බුකියේදිය. ඒ වන විට විජේවීර සහෝදරයා විසින් අපට ශාන්ත ජෝන් ගිලන්රථ සේවයේ ප්‍රථමාධාර පංති පවත්වා අවුරුදු දහනවයක් ඉක්ම ගොස් තිබිණි.



1 comment:

  1. හම්මේ..හෙන සීරියස් පිට කියෝලා අන්තිමේදි ඉළ ඇදෙන්න හිනා උණා :D 😀

    ReplyDelete

 
;