Saturday, October 18, 2014

උක්කෝලේ නොගිය කාරියවසම්ගේ කතාව !

පහුගිය අවුරුදු විස්සක් විසිපහක් තිස්සේ මම කිසිම දරුවෙකු සමඟ හුරතල් කතා බහක යෙදී නැත. පොඩි දරුවන් දුටුවිට හිනාවෙනවා විනා උකුලට ගෙන හුරතල් කර නැත. මට එහෙම වෙන්නට සිද්ද වූයේ උක්කෝලේ නොගිය කාරියවසම් මුල්වරට හමුවීමෙන් අනතුරුවය.


එවක මම හත් හැවිරිදි වීමි. ඒ කාලයේ හත් හැවිරිදි කියන්නේ පොඩි ඉස්කෝලේ සෙකන්ඩ් ඉයර් එකේ "අක්කා" කෙනෙක් ලෙස ඉන්නවාය කියන එකය. එහෙම සෙකන්ඩ් ඉයර් එකේඉන්නා අයට බාලාංශේ පොඩ්ඩන්ගෙන් හොඳින් ගරු සැලකිලි ලැබේ. අවුරුද්දක් මුළුල්ලේ දන්නා නිසා බාලාංශේ ගුරුවරුන්ගෙන් ද සැලකිලි ලැබේ. උක්කෝලේ නොගිය කාරියවසම් මට මුල්වරට හමුවන්නේ මා පහල බාලාංශයේ එවන් සැලකිය යුතු පුද්ගලයෙකුව සිටියදීය.


ඒ පහල බාලාංශය හෙවත් පොඩි ඉස්කෝලේ පළමු වසරට ළමයි ඇතුලත් කරගත් දිනයයි. දිනය මතක නැති උනාට ඒ 1989 අවුරුද්දයි. අළුතින් පාසලට ඇතුළුවන බාලාංශ සිසුන් වෙනුවෙන් මමත් ටානියා හඳපාන්ගොඩ ත් පිළිගැනීමේ කතාව කළ අවස්ථාවයි. උක්කෝලේ නොගිය කාරියවසම් අම්මා - පුංචි අම්මා සහ ආච්චි අම්මා සමගින් උත්සව සබාවට ඇතුළු උනේ ඔන්න ඔය මොහොතේය. සියලු දෙනාට අසුන් ගන්නට ඉඩ කඩ ප්‍රමාණවත් නොවූ නිසා ඇගේ අම්මා - පුංචි අම්මා සහ ආච්චි අම්මා මම සිටි අසුනට තරමක් දුරින් වාඩි ගන්නා ලදී. උක්කෝලේ නොගිය කාරියවසම් අසුන් ගත්තේ මගේ උකුළ මතය. ඈ ඉතාම හුරුබුහුටි පෙනුමකින් යුක්ත ඉතාම හුරතල් ගැහැණු දරුවෙක් විය. එදා ඈ එතෙන්ට පැමිණ සිටියේ එදින එක වසර පංතියට ඇතුලත් කර ගත් පුංචි අක්කා වෙනුවෙනි. 


කිසිම සහෝදර සහෝදරියක් නැතිව තට්ට තනියම ගෙදර හැදුණු මම , ජීවිතේ පළවෙනි වතාවට පොඩි දරුවෙක් උකුළට ගත්තේ එදාය. එය "අන්තිම වතාවට" කියා කීවද අවුලක් නැත.

ඒ හුරතල් දැරියගෙන් මම මුලිම්ම ඇසූවේ "බබා ඉස්කෝලේ යනවාද ?:" කියාය. ක්ෂණයෙන් මාදෙස හැරී තර්ජනාත්මක බැල්මක් හෙලූ දැරිය "මම උක්කොලේ යන්නේ නෑ ඕයි " කියා මොරදුන්නාය. ඒ මොරදීම කොයිතරම් දරුණුද යත් උක්කෝලේ නොගිය කාරියවසම්ගේ අම්මාද පුංචි අම්මාද ආච්චි අම්මාද අපේ අම්මාද සැනෙන් එතැනට දුව ආවෝය. ඒ හඩින් උත්සව සබාව කැලඹුනු බවක් මතක නැති උනත් මහා ගාලගෝට්ටියකින් පසු පාර්ලිමේන්තුව මදකට කල් තැබීම වැනි විශේෂණයක් යෙදීමට මම කැමතිය.
උක්කෝලේ නොගිය කාරියවසම් මට සද්දයක් දැමීමෙන් නැවතුණේ නැත. තරහෙන් ඔලුව ගස්සමින් එතෙක් කල් පහලට දමාගෙන උන් ඇගේ කකුල් දෙකත් මගේ උකුළ උඩට ගත්තාය . උක්කෝලේ නොගිය කාරියවසම් අබේසුන්දර පාරේ සිට කළුවැල්ල දක්වා ඇවිදිමින් ගෙනා දූවිලි තට්ටුවක් ඇගේ සැන්ඩ්ල්ස් දෙකේ පතුළේ හැඩයට මගේ සුදු ගවුමේ සටහන් විය. අපි හික්කඩුවේ ගෙදර යනකල්ම ඒ සපත්තු පාරවල් ඇති ගවුම මගදිග මිනිස්සුන්ට ප්‍රදර්ශනය විය.

මම උක්කෝලේ නොගිය කාරියවසම්ගෙන් ඇහුවේ හෙන අහිංසක ප්‍රශ්නයකි. ඒකට ඔය තරම් දරුණු උත්තරයක් ලැබුණේ ඇයිද? ඇගේ අම්මා විසින් පසුව විස්තර කරනකල් මට තිබූ එකම උභතෝකෝටිකය එය විය. උක්කෝලේ නොගිය කාරියවසම් පවුලේ බාලයය. අයියලා අක්කලා පමණක් නොව අම්මාද හැමදාම උදේ පාන්දර ඉස්කෝලේ යන්නේය, හවස ගෙදර එන්නේය. අසීමිත නිදහසකින් ගෙදර පෙරළන උක්කෝලේ නොගිය කාරියවසම් විස්සයි -විස්සේ පන්තිකාමරයකට හිරවෙන දවස ගැන උන්නේ නොමනාපයෙනි.මා ඇසු අහිංසක ප්‍රශ්නය කළුවැල්ල පෙරළන දරුණු ප්‍රශ්නයක් වූයේ ඒ නිසාය. අපේ අම්මා නං තාම හිතාගෙන ඉන්නේ එදා මා විසින් කියූ අලුකුත්තේරු කතාවක් නිසා උක්කෝලේ නොගිය කාරියවසම්ට තරහ ගිය බවය.

කොහොමහරි මම නං අවුරුදු දහතුනකට පසුව ඉස්කෝලේ යාම නතර කලෙමි. නමුත් එදා මා පත්කළ අපහසුතාවට කළ කම් පලදීමක් ලෙස උක්කෝලේ නොගිය කාරියවසම් අදටත් ඉස්කෝලේ යන්නේය. වයස පනස්පහ පිරෙනකල්ම ඉස්කෝලේ යන්නේය.

No comments:

Post a Comment

 
;