Sunday, September 27, 2015

ජපනා හපනා බව තේරුම් ගතිමි !

එකල, බීම මූඩි අස්සෙන් වාසනාව මතුකරගන්නට උස්සාහ කළ යුගයක් තිබිණ. ෆැන්ටා මිරින්ඩා සෙවන් අප් කොකාකෝලා ස්ප්‍රයිට් වාගේ, "බිව්වම ඉස්මොළේ දන" බීම මූඩි අස්සේ ඔය වාසනාව හංගා තිබිණි. ඒනිසා දිවා විවේකයෙන් පසු කැන්ටිමේ බීම මූඩි අහුලන්න්ගේ පර්ෂදයක් බිහි විය. ඉස්කෝලේ කැන්ටිමේ විතරක් නොව ඔය "බිව්වම ඉස්මොළේ දන" බීම කේස් වැඩිපුර පාවිචිචි වන උත්සව අවස්ථා දාන ගෙවල් මළ ගෙවල් වගේ තැන්වල බීම මූඩි ඇහිලිම අපේ ලොකුම විනෝදාංශයක් විය. වාසනාව හංගා තිබුනේ එහෙම හොල්සේල් අහුලා ගන්නා ලද බීම මූඩි අස්සේය.
වරක් අපි නම නොදන්නා ඇලෝසියස් එකේ පිරිමි ළමයෙක්ට කොකාකෝලා මූඩියක් අස්සෙන් මවුන්ටන් බයික් එකක් ඇදී තිබිණි. එහෙම තෑග්ගක් ලැබීම එවකට වසනා සම්පතේ සුපිරි තෑග්ග හිමිවීමටත් වඩා වාසනාවක් බව පිළිගන්නා ලදී. ඒනිසා දිවා විවේකයෙන් පසු කැන්ටිමේ බීම මූඩි  අහුලන්නන් පර්ෂදයට හැමදාම වැඩ තිබිණි.
නවසිය අනූ හතර අවුරුද්දේ කොකා කෝලා මූඩි යටින් මතුඋනේ "යෝ යෝ" ය. ලංකාවට කොකාකෝලා බෙදන පියෝබෙවරේජර්ස් ලා ඕකට කිව්වේ "රඟ දෙන යෝයෝ" කියාය. බීම මූඩි අතරින් යෝ යෝ මතුකර ගත් බොහෝ පිරිසක් සිටියද ඕකෙන් රඟදෙන්නට කවුරුත් දැනන් හිටියේ නැත. ජපනා දවසක් අපේ ඉස්කෝලෙට ආවේ ඔන්න ඔය කියන කාලයේදීය. ඒ ඓතිහාසික මොහොතේ මගේ අතේ පවා යෝ යෝ එකක් තිබිණි. ඒක ලුමිනස් කොළ පාටය.
ඔය කියන දවසේ, දවල් ඉන්ටර්වල් එකෙන් පසු පාසල් පිට්ටනියට අපිව කැඳවන ලදී. ජපනා ගැන කළ කෙටි හැඳින්වීමකින් පසුව අපට වැඩ පෙන්න්නට එන ලෙස ඔහුට ආරාධනා කළේ කවුරු හරි ලොකු අක්කා කෙනෙකි.

වැඩි ආටෝපයකින් තොරව යෝ යෝ එකකින් වැඩ පෙන්නන ආකාරය ජපනා අපට කියා දුන්නේ එහිදීය. ඔහු කොහෙන් ආවේද කවුරුන් කැටුව ආවේද කාගේ කවුරුන්ද කියා දන්නේ නැති උනත් එයා හෙනම කඩවසම් බොරු සොබනයකින් තොර තරුණයෙක් විය. අඩුමගානේ ඔහුගේ නම කුමක්ද කියාවත් අපිට කිව්වේ නැත.

ඔහු මුලිම්ම යෝ යෝ එකේ අතීත කතාව කියා, ඒක ජපානෙට පටලා තව මොකක් දෝ කියා ඉන් අනතුරුව යෝයෝ එක මැදඟිල්ලේ රඳවා ගත්තේය. ටිකකින් ජපනාගේ මූණ තිබූ තැන වෙනුවට අපි දැක්කේ දේදුණු පාට යෝයෝ වළල්ලකි. යෝ යෝ එකක් නොව හතරක් පහක් උඩ-පහළ යවමින් අපිට හිතාගන්නටවත් බැරි රංගනයක් ඉදිරිපත් කල ඔහුට තමන් ඉගැන්නුදේ අපි හරියට ඉගෙන ගත්තා දැයි බලන්නට ඕනෑ විය. "මෙතැනින් කෙනෙකු මම ඉදිරියට කැඳවනවා" ය කියා ඔහු කියන විට මම නං හිතුවේ ජපනා මට කතා කරාවිය කියාය . මුළු පිට්ටනියම ළමයින්ගෙන් පිරි-ඉතිරී තිබිණි. ජපනා ඉදිරියේ ශිල්ප දක්වන්නට ඒ හැමෝටම ඕනෑ වී තිබිණ . නමුත් තත්පරයක පමාවෙන් ජපනා ළමයි අතරින් පීරා ගොස් එක ළමයෙකු වේදිකාවට කැඳවාගෙන ආවේය.
ඒ 97-98 කාලේ පාසලේ පෙරදිග තූර්ය වාදන කණ්ඩායමේ නායිකාවය. පිපුණු මල් දහසක් අතරින් සුපිපුණු මලක් තෝරා ගන්නට ජපනාට තත්පර දහයක් වත් ගියේ නැත.
ඉතින්, ජපනාට හපනාය කියන්නේ ඔය නිසාය !

Saturday, September 26, 2015

රෝසි සමඟ එකම පංතියේ !

අපි අවුරුදු දෙකක් රෝසි සමඟ එකම පංතියේ උන්නෙමු. ඒක ඔබ හිතන තරම් පහසු කාරියක් නෙමේ.

අපේ පරණ  පන්ති පේළිය දැන් එතැන නැත. ඒ නිසා ඒක තිබ්බ තැන මුලින් ඔබට පෙන්වන්න ඕනෑය. ඒක අවුරුදු සියකට වඩා පැරැණි, තනි පෙළට තිබ්බ තනි තට්ටුවේ බිල්ඩිමකි. එහි එක කොනක් සෙන්ටනරි ගිෆ්ට් ෂොප් එක පැත්තටද අනෙක් කොන සෙන්ටනරි හෝල් එක පැත්තටද විහිදුණේය. අපි හිටියේ ඒ බිල්ඩිමේ මැද්දට වෙන්න පිහිටි හතර-පහ පංති කාමර වලය. මම රෝසි ව හඳුනාගත්තේ හතර "සී" පන්තියේදීය.

රෝසි කළු ය.ඇගේ හම පුරා කබර පැල්ලම් ය. ඇගේ පෙණුම මාන්දමෙන් පෙළෙන්නෙකු වැනි විය. සමවයසේ අනෙක් ළමුන්ට වඩා ඉස්සරහට නෙරා ගිය ලොකු බඩක් ඈට තිබිණි. ඇගේ අත්-පා හරිම අපිරිසිඳු වූ අතර නියපොතු මඩ පිරී හරහට ඇඹරුණු ගතියක් පෙන්නුවේය. කොටිම්ම, "රෝසි" කියන නම  තිබූ ළමයි අතරින් මා දුටු කැතම ළමයා ඈ ය.
සමාවෙන්න ! ඈ ළමයෙක් නොවේ.

කොන්වන්ට් එකට ළමයෙක් දාගන්න ඔච්චර වලි කන්න ඕනි කාලෙක, ඈ හරි පහසුවෙන් පාසැලට ඇතුල් වූයේ ළමයි ගන්නා පෙරිමීටර් එක ඇතුළේ ස්ථිර පදිංචිය තිබ්බ නිසාය. රෝසිලා උන්නේ  කළුවැල්ල ඇළ පාරේ ලොකු ඉස්කෝලේ තාප්පෙට යාබද නිවසකය.

හතර "සී" පන්තියේදී ඈ හිටියේ මම වාඩිවුනු ඩෙස්ක් එකට එක එල්ලේ ඉහළ සිවිලිමේ ය. අපි අලුත් පංතියට පැමිණි පළමු දවසෙම ඈ එතැන ඉන්නා බව මට සංඥා කෙරුණේ සුදු පැහැ ඝන දියරයක් ඩෙස්ක් එක මැද්දට හෙළිමෙනි. හොඳ වෙලාවට ඒක වැටුණේ මගේ ඔලුව උඩට නොව පරිසරය පොත උඩට ය.  ඒ දුර්ඝන්ධය ගැන වචනෙන් කියන්නට බැරිය. ඒක, ආඝ්‍රාණය කරලාම විඳගන්න ඕනා එකකි.
ඒ ජනවාරි මාසයේ සිට ඊළඟ නත්තල් නිවාඩුව වෙන තෙක් රෝසි සමඟ එකම පංතියේ ඉන්නට අපට සිදුවිය. ඈ නිසා අපට බොහෝ උදේ කාලවල පන්තිකාමරේ බිම, ඩෙස්, බංකු වතුර දමා හෝදන්නට සිදුවිය. සිස්ටර් රොසිනාට, මිස් එළිසබෙත්ට, ප්‍රයිමරියේ මිස් පුෂ්පාට තබා ජයවර්ධන අංකල් ට හෝ නගර සබාවේ ලන්කොනිස් ට වත් ඈ මෙල්ල කළ නොහැකි විය. අන්තිමේ අවට ළමයි මාර්ගයෙන් රෝසිගේ භාරකරු අහමඩ් මහතාට ඇගේ ක්‍රියා කලාපය ගැන පැමිණිලි කරන්නට අපට පුළුවන් විය. නමුත් ඈ කිසිවෙක්  මායිම් නොකළාය.

ඇගේ නොපණත් කම් සියල්ල  ඊළඟ ජනවාරියෙන් ඉවරවෙන නිසා අපි ඉවසන් හිටියෙමු. අන්තිමේදී අපි හතරෙන් පහට සමත් කෙරිණ. අපි එහා පංතිය ට මාරු කෙරිණි. එය  අපට ප්‍රීතිමත් ආරංචියක් නොවූයේ ශිෂ්‍යත්ව විභාගය අත ළඟ බව දැණුනු නිසා නොවේ. අර හැම උදෑසනකම දැක්ක සුදුපාට ඝන දියරය ඒ පන්ති කාමරය මැද්දෙත්  විසිරී තිබෙනු මිතුරියක් විසින් පෙන්වීම නිසාය. 
 
;