Sunday, September 27, 2015

ජපනා හපනා බව තේරුම් ගතිමි !

එකල, බීම මූඩි අස්සෙන් වාසනාව මතුකරගන්නට උස්සාහ කළ යුගයක් තිබිණ. ෆැන්ටා මිරින්ඩා සෙවන් අප් කොකාකෝලා ස්ප්‍රයිට් වාගේ, "බිව්වම ඉස්මොළේ දන" බීම මූඩි අස්සේ ඔය වාසනාව හංගා තිබිණි. ඒනිසා දිවා විවේකයෙන් පසු කැන්ටිමේ බීම මූඩි අහුලන්න්ගේ පර්ෂදයක් බිහි විය. ඉස්කෝලේ කැන්ටිමේ විතරක් නොව ඔය "බිව්වම ඉස්මොළේ දන" බීම කේස් වැඩිපුර පාවිචිචි වන උත්සව අවස්ථා දාන ගෙවල් මළ ගෙවල් වගේ තැන්වල බීම මූඩි ඇහිලිම අපේ ලොකුම විනෝදාංශයක් විය. වාසනාව හංගා තිබුනේ එහෙම හොල්සේල් අහුලා ගන්නා ලද බීම මූඩි අස්සේය.
වරක් අපි නම නොදන්නා ඇලෝසියස් එකේ පිරිමි ළමයෙක්ට කොකාකෝලා මූඩියක් අස්සෙන් මවුන්ටන් බයික් එකක් ඇදී තිබිණි. එහෙම තෑග්ගක් ලැබීම එවකට වසනා සම්පතේ සුපිරි තෑග්ග හිමිවීමටත් වඩා වාසනාවක් බව පිළිගන්නා ලදී. ඒනිසා දිවා විවේකයෙන් පසු කැන්ටිමේ බීම මූඩි  අහුලන්නන් පර්ෂදයට හැමදාම වැඩ තිබිණි.
නවසිය අනූ හතර අවුරුද්දේ කොකා කෝලා මූඩි යටින් මතුඋනේ "යෝ යෝ" ය. ලංකාවට කොකාකෝලා බෙදන පියෝබෙවරේජර්ස් ලා ඕකට කිව්වේ "රඟ දෙන යෝයෝ" කියාය. බීම මූඩි අතරින් යෝ යෝ මතුකර ගත් බොහෝ පිරිසක් සිටියද ඕකෙන් රඟදෙන්නට කවුරුත් දැනන් හිටියේ නැත. ජපනා දවසක් අපේ ඉස්කෝලෙට ආවේ ඔන්න ඔය කියන කාලයේදීය. ඒ ඓතිහාසික මොහොතේ මගේ අතේ පවා යෝ යෝ එකක් තිබිණි. ඒක ලුමිනස් කොළ පාටය.
ඔය කියන දවසේ, දවල් ඉන්ටර්වල් එකෙන් පසු පාසල් පිට්ටනියට අපිව කැඳවන ලදී. ජපනා ගැන කළ කෙටි හැඳින්වීමකින් පසුව අපට වැඩ පෙන්න්නට එන ලෙස ඔහුට ආරාධනා කළේ කවුරු හරි ලොකු අක්කා කෙනෙකි.

වැඩි ආටෝපයකින් තොරව යෝ යෝ එකකින් වැඩ පෙන්නන ආකාරය ජපනා අපට කියා දුන්නේ එහිදීය. ඔහු කොහෙන් ආවේද කවුරුන් කැටුව ආවේද කාගේ කවුරුන්ද කියා දන්නේ නැති උනත් එයා හෙනම කඩවසම් බොරු සොබනයකින් තොර තරුණයෙක් විය. අඩුමගානේ ඔහුගේ නම කුමක්ද කියාවත් අපිට කිව්වේ නැත.

ඔහු මුලිම්ම යෝ යෝ එකේ අතීත කතාව කියා, ඒක ජපානෙට පටලා තව මොකක් දෝ කියා ඉන් අනතුරුව යෝයෝ එක මැදඟිල්ලේ රඳවා ගත්තේය. ටිකකින් ජපනාගේ මූණ තිබූ තැන වෙනුවට අපි දැක්කේ දේදුණු පාට යෝයෝ වළල්ලකි. යෝ යෝ එකක් නොව හතරක් පහක් උඩ-පහළ යවමින් අපිට හිතාගන්නටවත් බැරි රංගනයක් ඉදිරිපත් කල ඔහුට තමන් ඉගැන්නුදේ අපි හරියට ඉගෙන ගත්තා දැයි බලන්නට ඕනෑ විය. "මෙතැනින් කෙනෙකු මම ඉදිරියට කැඳවනවා" ය කියා ඔහු කියන විට මම නං හිතුවේ ජපනා මට කතා කරාවිය කියාය . මුළු පිට්ටනියම ළමයින්ගෙන් පිරි-ඉතිරී තිබිණි. ජපනා ඉදිරියේ ශිල්ප දක්වන්නට ඒ හැමෝටම ඕනෑ වී තිබිණ . නමුත් තත්පරයක පමාවෙන් ජපනා ළමයි අතරින් පීරා ගොස් එක ළමයෙකු වේදිකාවට කැඳවාගෙන ආවේය.
ඒ 97-98 කාලේ පාසලේ පෙරදිග තූර්ය වාදන කණ්ඩායමේ නායිකාවය. පිපුණු මල් දහසක් අතරින් සුපිපුණු මලක් තෝරා ගන්නට ජපනාට තත්පර දහයක් වත් ගියේ නැත.
ඉතින්, ජපනාට හපනාය කියන්නේ ඔය නිසාය !

9 comments:

  1. ඉතිං ඒ අක්ක වැඩ පෙන්නුවැයි ජපනට.....

    ReplyDelete
    Replies
    1. නෑ. ජපන වැඩ පෙන්නුවා අක්ක ඉදිරිපිට, ආයේ අපට !

      Delete
  2. ඔය යෝ යෝ සීන් එක ගාල්ලම ගිලගත්තා. අපිට කොකාකෝලා වාසනාව නොඇදුනාට වැල්ලේ දෙවාලෙන් ඔයින් එකක් ගත්තා.

    ReplyDelete
  3. ජපන්නු කොහොමත් ඉක්මනින් යමක් තීරණය කරනන් දක්ෂයි කියල මටත් හිතෙනවා. මත ජපනෙක් ගැන කටහ්වක් දැම්මා මගේ බ්ලොග් එකේ. අපි දෙන්නෙක් ට්‍රයි කරපු කෙල්ල හොරෙන්ම දාගෙන ජපානෙට අරන් ගිහින් පෝස්ට් කාඩ් එකක් එවන කන් දන්නේ නැහැ.

    ReplyDelete
  4. යෝ යෝ ෆීවර් කියලත් කිව්ව මට මතකයි. ඒක නං උණක්ම තමා. වැඩේ කියන්නෙ කොකොකෝලා ස්ප්‍රයිට් ෆැන්ටා මූඩි වලින් විතරක් නෙමෙයි, සල්ලිකහන කොල්ලන්ට ඔයිං එකක් සල්ලි වලටත් ගන්න පුළුවන් වීමයි.

    ReplyDelete
  5. /ඒ 97-98 කාලේ පාසලේ පෙරදිග තූර්ය වාදන කණ්ඩායමේ නායිකාවය. පිපුණු මල් දහසක් අතරින් සුපිපුණු මලක් තෝරා ගන්නට ජපනාට තත්පර දහයක් වත් ගියේ නැත/
    දුක හිතෙනම ටික

    ReplyDelete
  6. අපේ ඉස්කෝලෙ කාලෙ ඔව්ව තහනං බාණ්ඩ. හරියට ගංජ වගේ

    ReplyDelete
  7. මටත් තිබුනා එකක්.... අපේ ඉස්කෝලෙටත් ඔය වගේම ඇවිත් කියලා දුන්නා... සමහර උන් වැඩේ අල්ලා ගත්තා.... ඒ උනාට මට පුලුවන් උනෙ 2-3ක් විතරයි කියලා මතකයි....

    ReplyDelete
  8. ඔන්න අදතමා මේ පත්තෙ ආවෙ. අපිත් ගාල්ලෙ හැබැයි මහින්දෙ

    ReplyDelete

 
;